පාසල් නැවත විවෘත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවේශයක් පිළිබඳ සලකා බලන ලෙස ජනපතිගෙන් ඉල්ලයි

0

මිලියන 4.5 ක රටේ අනාගතය වන දරුවන් සහ ලක්ෂ 2කට අධික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ගුරු මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා එළඹෙන මැයි 11 වන දින ශ්‍රී ලංකා රජය විසින් වසංගත තත්වයන් පාලනය උදෙසා වසා දමන ලද පාසල් පද්ධතිය නැවත විවෘත කිරීම සඳහා ගත් තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් වගකිව යුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ජනාධිපති තුමන් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්,පරිපාලන නිලධාරීන්, අධ්‍යාපනඥයින්, රජයේ සහ පෞද්ගලික අංශයේ  වෘත්තිකයන්,  නීතී වේදීන් සහ සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන්ගෙන් සමන්විත සමාජයේ ප්‍රසිද්ධ සහ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් ගරු ජනාධිපති තුමන්ගේ  සහ අග්‍රාමාත්‍ය තුමන්ගේ  අවධානයට මෙහිදී යොමු කර සිටින්නේ සියලුම පාසල් බලධාරීන්, සිසුන්, දෙමාපියන් සහ විවිධ අධ්‍යාපන සේවා සපයන්නන් විසින් වර්තමාන වසංගත තත්ත්වයන් හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව සැලකිල්ලක් දක්වමින්, මනා සැළසුමක් නොමැතිව පාසල් විවෘත නොකරන ලෙසය. 

තවද එලෙස පාසල් විවෘත කිරීම සිදු කරන්නේ නම් සියළුම පාර්ශවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය අවධානය යොමු කල යුතු කරැණු හයක් පිළිබඳවද ඔවුන් මෙහිදී අවධාරණය කරන ලදී. 

ඔවුන් මෙහිදී ප්‍රථමයෙන්ම අවධානය යොමු කර සිටියේ දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කිරීම සිදු කල යුත්තේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් විසින් ඉතා විනිවිදභාවයකින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අදාළ සියලුම පාර්ශවකරුවන් විසින් දරුවන්ට සහ පුරවැසියන්ට ආරක්ෂිත ලෙස වැඩ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසරය පිළිබඳ සහතික වෙමින් සිදු කරන ලද සාමූහික එකඟතාවයක් මත පදනම්ව යන්නය. තවද ප්‍රමුඛතා පදනමක් මත පාසල් නැවත විවෘත කිරීමේ හැකියාව  තක්සේරු කිරීම සිදු කල යුතු බවත්, එහිදී  2020 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් සඳහා පාසල් විවෘත කිරීම සුදුසු බවත්,  සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සිසුන්ගේත්, ගුරුවරුන්ගේත් ආරක්ෂාව සහතික කිරීම පිණිස පංති කාමර තුළ අදාළ සැලසුම් සකසමින් සෞඛ්‍ය අනුමැතියක් ලබා ගත් දිවයිනේ ප්‍රදේශ වල පාසල් විවෘත කිරීම සුදුසු බවත් ඔවුන් අවධාරණය කරන ලදී. තවද මෙහිදී  සියලුම සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් සහ විවිධ අධ්‍යාපන සේවා සපයන්නන් විසින් වෛරසයේ පැතිරීම වලක්වා ගැනීම පිළිබඳ උපදෙස් සහ ක්‍රියාමාර්ග ඇතුලත් පුර්ව සැළසුම් සෑම පාසලකම දියත් කර තිබීම අනිවාර්ය කොට සළකන ලෙස ඉල්ලුම් කර ඇත. 

 තෙවන කාරණය ලෙස ඔවුන් රජයේ අවධානයට යොමු කර සිටින්නේ COVID-19  වසංගත තත්වයන් මැඩ පැවැත්වීමේ කාල සීමාව තුළ අධ්‍යාපන අංශය තුලට විවිධ උපදේශනයන් ලබා දෙන විවිධ කුසලතා සහ අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා සංවර්ධනය, ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිත නියෝජිතයන්ගෙන් සමන්විත අධ්‍යාපන කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීමත් අනිවාර්ය බවත් මෙම කාලය තුල ඔවුන්ගේ උපරිම කාර්යක්ෂමතාව ඉහත (1) හි සඳහන් සියලුම පාර්ශවකරුවන්ගේ එකගත්වය මත සනාථ කිරීම වැදගත් බවත්ය.  තවද මෙම අර්බුදකාරී කාල සීමාව තුළ විවිධ රටවල් විසින් සාර්ථකව අනුගමනය කරන ලද විකල්ප අධ්‍යාපන ක්‍රම හඳුනා ගනිමින්, දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කරන තුරු විකල්ප මාධ්‍ය ඔස්සේ දේශීය පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම වැදගත් බවත්  ඉහත  නිර්දේශයන් වලට අනුව සාමුහිකව තීරණය කරන ලද පාසල් ආරම්භ කිරීමේ දිනය වන විට, වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩපණ වූ කර්මාන්තයන්හි සේවය කරන, මුල්‍යම දුෂ්කරතා වලින් පෙළෙන දෙමව්පියන්ගේ දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය සැපයීමසඳහා රජයේ වැඩ පිළිවලක් සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලීමක් සිදු කරන ලදී. තවද අවසාන වශයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 12/2016 ක්‍රියාත්මක කරමින්, මානසික සහ ශාරීරික හිංසනයෙන් තොර අධ්‍යාපනික අත්දැකීමක් දරුවන්ට ළඟා කරලීමට කැප වීම  සහ ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, ආගම පිළිබඳ කිසිඳු වෙනස් කොට සැලකීමකින් තොරව ආරක්ෂිතව දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් බව ඔවුන් රජයට අවධාරණය කරන ලදී.  

ශ්‍රී ලංකාව තුල COVID 19 වසංගත තත්වයේ පැතිරීම මැඩ පැවැත්වීම උදෙසා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ගයන් ගත් අතර රජයක් ලෙස මාර්තු මස මැද භාගයේදී  දරුවන් ගේ ආරක්ෂාව ජාතික ප්‍රමුඛත්වයක් ලෙස සලකා දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට ගත් කාලෝචිත තීරණය ඔවුන් ප්‍රශංසා කර සිටින බව පවසා සිටියේය. නමුත් වෛරසයේ අවධානම තවමත් පහව ගොස් නොමැති හෙයින් පාසල් නැවත විවෘත කිරීම ඉතා අවධානම් සහගත ක්‍රියාවක් ලෙස රටේ ජනතාව සළකන බව ඔවුන් තව දුරටත් අවධාරණය කරන ලදී. 

මෙම සමාජ කර්තව්‍ය සඳහා කැප වී ක්‍රියා කරන කණ්ඩායම තුළට නීතිය පිළිබඳ සම්මානනීය මහාචාර්ය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්ය සිරී හෙට්ටිගේ, ලංකා ගුරු සංගමය  ප්‍රධාන ලේඛම් ජෝෂප් ස්ටාලින්, ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතිවාසිකම් කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂ දිනේෂ් කීර්තිනන්ද, ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ , ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් විශාකා තිලකරත්න, කොළඹ නාවික ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාල, නීතිඥ සහ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනී සොරයා මරික්කාර්, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (1994-2005) : අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරී සාමාජික, 1998 සහ හිටපු විදුහල්පති සුනිලා මෙන්ඩිස්, නොබල්ස් ව්‍යාපාර සමුහයේ සභාපති සහ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, කොළඹ විශ්ව විද්‍යාලයේ පවුල් වෛද්‍ය අංශයේ ප්‍රධානී සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති වෛද්‍ය රුවයිස් හනීෆා, ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක සහ සන්නිවේදන හා උපදේශන සේවා විශේෂඥ මනු තිසේරා යන සමාජ සේවා ක්‍රියාකාරීන් පිරිස ඇතුළත් වේ. 

මේ පිළිබඳ වැඩි දුර විස්තර අවශ්‍ය නම් මෙම ස්වේච්ඡා මුල පිරීමේ ප්‍රධාන කැඳවුම්කරුවන් (අධ්‍යාපන අංශය) වන ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක  ([email protected]) හෝ සන්නිවේදන හා උපදේශන සේවා විශේෂඥ මනු තිසේරා  ([email protected]) සම්බන්ධ වීම හරහා ලබා ගත හැක.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *