COMPLAST & RUBEXPO 2024 තුළින් තිරසාර ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය සවිබලගන්වයි

0

තිරසාර ප්‍රතිචක්‍රීකරණය සහ නිෂ්පාදන අපනයනය ආදී ක්ෂේත්‍රයන් ඉහළ  නංවමින් මෙරට අනාගතය සවිබල ගැන්වීමේ අරමුණින්  සංවිධානය කරන ලද COMPLAST & RUBEXPO 2024 ප්‍රදර්ශනය  අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  (BMICH) පැවැත්විණි.  ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සහ  ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) ද සහයෝගය සහිතව SMART Expos & Fairs India Pvt Ltd විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ලද්දේ Shibaura Machine India, SDD Polymers, Lanka IOC, FMJ Plastics, Acteil Innovative, සහ NCS Holdings විසිනි.

ප්ලාස්ටික් ,රබර් හා ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් 300කට අධික සංඛ්‍යාවක් මෙන්ම එම ක්ෂේත්‍රවල නියෝජිතයන් 200කට නොඅඩු සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. නරඹන්නන්හට ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තවල නවෝත්පාදනයන් සහ නව තාක්ෂණයන් මෙන්ම නව්‍ය විසඳුම් පිළිබඳව සජීවී අත්දැකීමක් ලබාගැනීමට මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාවේ  දිගුකාලීන තිරසාර  ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි මෙම ප්‍රදර්ශනය බෙහෙවින් වැදගත් වන අතර මේ ඔස්සේ ප්‍රතිචක්‍රීකරණය සහ එහි තිරසාරභාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබේ. පාරිසරික බලපෑම් මැඩලීම, කසළ කළමනාකරණය පිරිපහදු කිරීම, සම්පත් සංරක්ෂණය, රැකියා උත්පාදනය සහ පරිසර හිතකාමී කර්මාන්ත ආදී කරුණු තිරසාර ආර්ථිකය තුළ අන්තර්ගත වේ. එය මෙරට ආර්ථිකය තුළ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමට ඉවහල් වන අතර ගෝලීය වශයෙන්  ශ්‍රී ලංකාවේ වටිනාකම ඉහළ නැංවීමට  ද  බෙහෙවින් උපකාරී වනු ඇත.මෙම ප්‍රදර්ශනයේ දී ප්‍රතිචක්‍රීකරණය සහ තිරසාරභාවය තුළින්  ලබාගත හැකි සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභයන් පිළිබඳ ද  සහභාගීවූවන් දැනුවත් කෙරිණි.

Smart Expos India (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී බී. ස්වාමිනාදන් මහතා මෙම අවස්ථාව පිළිබඳව සිය අදහස් මෙසේ එකතු කළේය. “COMPLAST & RUBEXPO 2024 වෙනුවෙන් ලැබුණු  විශිෂ්ට ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර් කර්මාන්ත වර්ධනය දිනෙන් දින ඉහළ යෑම  පිළිබඳ සෑබෑ  සාක්ෂියක්.ඒ වගේම  ප්‍රදර්ශනයට සහභාගිවූවන් මෙන්ම එය නැරඹීමට පැමිණි පිරිස ද උද්‍යෝගිමත්ව මෙම අවස්ථාව සමඟ ඒකරාශී වීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. නව්‍යකරණය, සහයෝගීතාවය සහ ව්‍යාපාර වර්ධනය කෙරෙහි මෙම ප්‍රදර්ශනය මගින් මනා මගපෙන්වීමක් ලබාදෙනවා. ප්ලාස්ටික් සහ රබර් කර්මාන්ත ආශ්‍රිත ඔවුන්ගේ අනාගත කටයුතුවලදී  අපගේ අඛණ්ඩව සහයෝගය ඔවුන් වෙත ලබාදීමට ද අපි බලාපොරොත්තු වෙනවා.”

ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තශාල පිහිටුවීම සඳහා අවශ්‍ය දැනුම සහ උපදෙස් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයන්ගෙන් ලබාගැනීමට මෙන්ම වර්ධනය සහ විවිධාංගීකරණය පිළිබඳ නව අවස්ථාවන් හඳුනාගැනීමට ද මෙම COMPLAST සහ RUBEXPO 2024 අනගි අවස්ථාවක් විය. එමෙන්ම ජාත්‍යන්තර නිෂ්පාදකයන් හඳුනාගනිමින් ඔවුන් සමඟ නව සබඳතා ගොඩනගා ගැනීමට  ද  මෙය මනා තෝතැන්නකී.  සැපයුම්කරුවන් මෙන්ම බෙදාහරින්නන් රැසක් ද මෙම අවස්ථාව සමඟ එකතු වී සිටි අතර එය ආනයනික අමුද්‍රව්‍ය, නිමි සහ අර්ධ නිමි භාණ්ඩ සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම  සපුරාලීමේ පහසුකම් පුළුල් කිරීමට උපකාරී වනු ඇත.දේශීයව නිපදවූ නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින්  එහි සුවිශේෂී ගුණාත්මකභාවය සහ නවෝත්පාදනයන් ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත විදහා දැක්වීම කෙරෙහි මනා පිටිවහලක් වූ මෙම අවස්ථාව මගින්  අලෙවිකරුවන්ද  ප්‍රතිලාභ රැසක් හිමි කරගන්නා ලදී.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *