කොවිඩ් මඩින සටන ජයගන්න ඔමේගා ලයින් වෙතින් සෞඛ්‍ය අංශ වෙත ආරක්ෂිත මුහුණු ආවරණ 400,000 ක්

0

නව කොරොනා වයිරසය (COVID-19) දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආකාරයේ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මොහොතක, ඉතාලියේ Calzedonia S.P.A සන්නාමය යටතේ ක්‍රියාත්මක ඔමේගා ලයින් (Omega Line) සමූහය වසංගතයේ ඉදිරිපෙළ සටන්කරුවන් වන සෞඛ්‍ය සේවකයින්ට අත්‍යවශ්‍ය ආරක්ෂක මුහුණු ආවරණ 400,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.   

මෙම සද්කාර්යය ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන කරුවන්ගේ සංගමය (SLAEA) සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම්  සංසදය (JAAFSL) විසින් ප්‍රධාන පෙළේ ඇඟළුම් නිෂ්පාදකයින් 12 දෙනෙක්ගේ දායකත්වයෙන් දියත් කරන ලද  දැවැන්ත ව්‍යාපෘතියක කොටසක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර, එහි අභිප්‍රාය රාජ්‍ය අංශයේ වෛද්‍ය සේවකයින් වෙනුවෙන් ආරක්ෂක මුහුණු ආවරණ මිලියන 2 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ලබා දීමයි. 

ඔමේගා ලයින් සමූහයට අයත් Omega Line, Alpha Apparels, Sirio සහ Benji සමාගම් විසින් මෙම කර්තව්‍යය ඉටු කරන ලද අතර, Teejay Lanka සමාගම විසින් ඒ සඳහා අවශ්‍ය රෙදිවලින් වැඩි ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කර තිබිණි. “මේ තීරණාත්මක මොහොතේදී අප වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් වැඩ කරන වෛද්‍යවරුන්, හෙදියන්  ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට හැකි අයුරින් උපකාර වීම අපේ යුතුකම හා වගකීමයි. මේ අවස්ථාවේදී අපේ දායකත්වය මේ සටනට ලබාදිය හැකි ක්‍රමය මෙය නිසා අපි උපරිමයෙන් මේ ව්‍යාපෘතියට කැපවුණා. අපගේ සෞඛ්‍ය සේවකයින්ගේ නිර්භීතකම සහ කැපවීමට මෙය උපහාරයක් වනු ඇති” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඔමේගා ලයින් නියෝජිතයෙක් මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

ඔමේගා ලයින් සමූහය විසින් ආරක්ෂිත ඇඳුම් කට්ටලද නිෂ්පාදනය කර සැපයීම සඳහා ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය වෙත සිය එකඟතාවය පළ කර ඇති අතර, එහි එක් සමාගමක් දැනටමත් රටේ උතුරු කලාපයේ රෝහල් සඳහා නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

13,500 කට අධික ශ්‍රමබලකායක් සිටින ඔමේගා ලයින් සමූහය පසුගිය 21 වසර පුරා ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට සහ රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් දක්වා ඇති අතර බොහෝ සමාජ වගකීම් ක්‍රියාකාරකම් සහ තිරසාර ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති සමාගමකි.

ඡායාරූපය:

ඔමේගා ලයින් සමූහයේ අධ්‍යක්ෂක ෆීලික්ස් ප්‍රනාන්දු (මැද) ආරක්ෂක මුහුණු ආවරණ තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා වෙත ලබා දෙමින්. ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලකානි මහතාද පෙනී සිටී. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *