ශ්‍රී ලංකාව බලගන්වමින්  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී.

25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි මාදිලි රැසකින් සමන්විත GenVoltz ජෙනරේටර් යන්ත්‍ර, ගොඩනැගිලි සංකීර්ණ නඩත්තු සේවා, සෞඛ්‍ය සේවා, සංචාරක, තොරතුරු තාක්ෂණය වැනි කර්මාන්ත ඇතුළු කුඩා සහ, මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් රැසකගේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉවහල් වන නිෂ්පාදනයකි. මෙම ජෙනරේටර් යන්ත්‍ර සතු සුවිශේෂී කාර්ය සාධනය සහ ඉන්ධන කාර්යක්ෂමතාවය එහි දිගු කල්පැවැත්ම සහතික කරන අතර අඛණ්ඩ බලශක්ති සැපයුමක් අවශ්‍ය ව්‍යාපාර සඳහා මෙය නිසැකවම කදිම තේරීමක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Automotive Engineering Solutions) මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට Tata Motors GenVoltz ජෙනරේටර්  යන්ත්‍ර පෙළ හඳුන්වාදීමට ලැබීම ගැන අපි බෙහෙවින්  සතුටු වෙනවා.  මෑතකාලීනව අපට මුහුණ දීමට සිදුවුණු බලශක්ති අර්බුදය සමඟ විශ්වාසනීය  අතිරේක බලශක්ති  විසඳුම් සඳහා වෙළෙඳපල ඉල්ලුම ඉහළ ගියා. මෙය එම ඉල්ලුම පිළිබඳ අවධානය යොමුකරමින් හඳුන්වාදෙන ලද විසඳුමක්. Tata  Motors හි උසස් ඉංජිනේරු තාක්ෂණයෙන් සහ DIMO සමාගමේ අසමසම අලෙවියෙන් පසු සේවාව සමඟින්  වෙළෙඳපලට පැමිණෙන Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයට නව ජවයක් එකතු කරනවා.”

Tata Motors හි CVIB Downstream Business අංශයේ සාමාන්‍යාධිකාරී ජේ. භාටියා මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් මෙසේ එකතු කළේය. “ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීම වෙනුවෙන්ම නිමකළ නිෂ්පාදනයක් ලෙස Tata Motors GenVoltz ජෙනරේටර්  හැඳින්විය හැකියි. මෙරට කාර්මික අංශයේ වර්ධනය උදෙසා  Tata Motors GenVoltz සැලකිය යුතු  කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින්, ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ Tata Motors සතු විශේෂඥතාව හා විවිධ වෙළෙඳපලවල නිශ්චිත අවශ්‍යතාවය හඳුනාගනිමින් එම නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකරන ඔවුන්ගේ පුළුල් පර්යේෂණ, සංවර්ධන කටයුතු පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපලට මැනවින් ගැළපෙන බව සහතික කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම ද මෙහිදී ඔහු අවධාරණය කළේය .

Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර පෙළ සතු අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවය ඔස්සේ එහි මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අවම කරයි. මෙහි අන්තර්ගත ශක්තිමත් Tata Motors එන්ජිම  මඟින් ජෙනරේටර් යන්ත්‍ර සඳහා  දිගුකාලීන කාර්ය සාධනයක්  සහ අවම අක්‍රිය කාලයක් ලබාදෙයි. මෙම ජෙනරේටර් යන්ත්‍රවලට  හදිසි බලශක්ති වැඩිවීම් පාලනය කිරීමටත්  බාධාවකින් තොරව මෙහෙයුම් කටයුතු කිරීමටත් හැකියාව ඇත.  මෙම Tata Motors GenVoltz යන්ත්‍ර පෙළ නවතම CPCB II සහ IV+ විමෝචන සම්මතයන්ට ද අනුගතව පරිසර හිතකාමී ලෙස සකසා තිබීමද සුවිශේෂී කරුණකි.

අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාවක් සහිත මෙම ජෙනරේටර් යන්ත්‍ර, ව්‍යාපාර කටයුතු  තරඟකාරීව පවත්වාගෙන යෑමට උපකාරී වන අතර එය මෙරට හදිසි විදුලි ඇනහිටීම් හේතුවෙන් උද්ගතවන  අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත.

DIMO සමාගමේ ඉහළ නිපුණත්වය සහිත පළපුරුදු කාර්මික ශිල්පීන් සහ පුළුල් සේවා මධ්‍යස්ථාන ජාලය  සමඟින්, Tata Motors GenVoltz ජෙනරේටර්  යන්ත්‍ර සඳහා පුළුල් නඩත්තු සහ අලුත්වැඩියා  සේවාවක් ද පිරිනමනු ලැබේ.  තවද, මෙහි විදුලි උත්පාදක කට්ටලයේ අමතර උපාංග සඳහා සහ අලුත්වැඩියා කටයුතු සඳහා වසර දෙකක හෝ මෙහෙයුම් පැය 3000ක වගකීම් කාලයක් ලබාදීමට DIMO සමාගම  බලාපොරොත්තු වේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *