හච් මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

0

2018 වසරේදී එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම, පද්ධති ගණනාවක් මගින්, වඩාත් උසස් ජාල පද්ධතියක් වෙතට පාරිභෝගිකයින් යොමු කරමින්, හච් හා එටිසලාට් ජාල ද්විත්වය ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය සාර්ථකව සම්පූර්ණ කළ බව පසුගියදා දැනුම් දුනි.

ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයා වන, CK හචිසන් හෝල්ඩින්ග්ස් අනුබද්ධිත හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන්නේ, දැවැන්ත ජාල ඒකාබද්ධ වීම මගින් දැන් රටපුරාම පාරිභෝගිකයින්ට සුවිශාලතම හා හොඳම 2G, 3G හා 4G සේවාවක් ලබා දිය හැකි බවයි. ශ්‍රී ලංකාවෙහි 4G ජාල ආවරණය සම්පූර්ණ කරමින් සමාගම එහි නවතම තේමා පාඨය “Be. Anywhere” යනුවෙන් නවතම මුහුණුවරකින් එළි දක්වා තිබේ.

මෙම ජාල ද්විත්වය ඒකාබද්ධ කරමින් කරන ලද වැඩි දියුණු කිරීම මගින් 12000 කට අධික ග්‍රාම නිලධාරී කොට්ඨාශ ප්‍රමාණයක මිලියන ගණනක් වන පාරිභෝගිකයින්ට සම්බන්ධතාව ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කෙරෙමින් 95% ක තරම් සුවිශාල ජාල ආවරණයක් සැපයේ. රටපුරා ස්ථාන 3500 කට වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ කිරීම අරඹමින් 4G ජාල ව්‍යාප්ත කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් 400 කට වැඩි පිරිසක්, තාක්ෂණික සහායක කාර්ය මණ්ඩලය මෙන්ම, රටවල් කිහිපයකින්ම පැමිණි විදෙස් විශේෂඥයෝද, වාර්තාගත මාස 12 කාලයකින් එම කටයුත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා සිය දැනුම හා හැකියාව ලබා දී තිබිණි. මෙම කර්තව්‍ය යෙහි එක් ප්‍රතිඵලයක් ලෙසින්, සමාගමෙහි හඬ, දත්ත හා අනෙකුත් සේවා වඩාත් පහසු මිල ගණන් යටතේ ලබා දීමට සැලසුම් කර ඇත.  

“හච් හා එටිසලාට් ජාල දෙක ඒකාබද්ධ කිරීමේ කටයුත්ත 100% ක් සාර්ථක වූ බව ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. පසුගිය වසරේ පැවති අයහපත් වාතාවරණය නොකතා, මෙවැනි භාරදූර කාර්යයක් සැලසුම් ගත කාලයකින් නිම කළ අපේ ඉංජිනේරු හා තාක්ෂණික කණ්ඩායම් පිළිබඳව අපි ආඩම්බරයට පත් වෙනවා. දීප ව්‍යාප්ත 4G ආවරණය සම්පූර්ණ කිරීම තුළින් හච් ක්ෂේත්‍රයේ ඉදිරියට ගෙන ඒමට හැකි වූ අතරම, ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළේ සෑම කොටසකටම සේවා ලබා දීමේ අපගේ උත්සාහය පිළිබඳව එය හොඳම සාක්ෂියක් වනු ඇත. මෙම නවතම 4G තාක්ෂණය මගින් සැලසෙන ප්‍රතිලාභ නිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමටත් අවස්ථාව උදා වෙනවා.” ජාල ද්විත්වය සම්බන්ධ කිරීමෙන් ලද විජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේය.

මෙම ආයෝජනයෙහි එක් ප්‍රතිඵලයක් ලෙසින් හච් මේ වන විට, රට පුරා වඩාත් උසස්  4G ආවරණ ජාලයක් සවි කිරීමේ කටයුතු සම්පූර්ණ කර තිබේ. ඊට අමතරව, පාරිභෝගික පහසුවට සරිලන අන්දමින් විවිධ නිෂ්පාදන හා සේවා ලබා දෙමින්, පසු හා පෙර ගෙවුම් බිල්පත් නිකුත් කිරීම සඳහා එකම ක්‍රමයක් භාවිත කෙරෙන, ලොව වඩාත් දියුණු Converged Billing Systems (CvBS) වෙතද සමාගම යොමු වී තිබේ. ශ්‍රී ලංකාව තුළ සිය සේවාව අලුත් කිරීමේ හා ව්‍යාප්ත කිරීමේ මෙම ආයෝජනයෙහි එක් ප්‍රතිඵලයක් වශයෙන්, හච් පාරිභෝගිකයින් හට අති නවීනතම ඩිජිටල් තාක්ෂණය මෙන්ම අනෙකුත් තාක්ෂණික නිෂ්පාදන හා සේවාද බලාපොරොත්තු විය හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *