නවතම බදු වැඩිවීම් හේතුවෙන් රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක්

0

රජය විසින් යෝජනා කර ඇති නවතම බදු සංශෝධනයන් හමුවේ රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ  දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරයි.  රජය විසින් 2020 වසරේ මාර්තු මාසයේ දී සියලු ම වර්ගයේ වාහන (යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ හා වාණිජ පරමාර්ථයන් සඳහා යොදා ගන්නා වාහන) ආනයනය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබුවේ, එම අත්හිටුවීම සිදුකරන්නේ මාස 06ක් වැනි කාලයක් සඳහා පමණක් වන බව පවසමිනි. නමුදු වර්තමානය  විට එම තීරණය ගෙන මාස 31ක් ගත වී ඇතත්, වාහන ආනයනයට තවමත් අවසර ලබා නොදුන් අතර, මේ වන තෙක් රජය මෙම ගැටලුවට කිසිඳු ආකාරයක සහනයක් ලබා දී නොමැත.  එමෙන් ම පසුගිය මාස කිහිපය තුළ ණයවර ලිපි නිකුතුව ද සීමා කිරීම හේතුවෙන්, ප්‍රමිතිගත අමතර කොටස් ආනයනය අඩු වී ඇති අතර, එය මෝටර් රථ සමාගම් ලබා දෙන අලෙවියෙන් පසු සේවාව බිඳ වැටීමට සෘජුව ම බලපා තිබේ.

CMTA සාමාජිකත්වය ලබා ඇති ආයතන, ආනයන අත්හිටුවීමට පෙර 30,000 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දී තිබිණි. එමෙන් ම දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 6,300 කට අධික ප්‍රමාණයකට එම ආයතනවල අලෙවි සහ අලෙවියෙන් පසු සේවා නියෝජිත අවස්ථා ලබා දී ඇති අතර, ඔවුන්  නියෝජිත දිරි දීමනා ලෙස පමණක් රුපියල් බිලියන 2කට අධික මුදලක් මෙරට ග්‍රාමීය ආර්ථිකයට එකතු කරන කළ බව ද පැවසිය යුතු ම කරුණකි. CMTA සාමාජිකයින් සිය ආයතනික ආරක්‍ෂාව, පිරිසිදු කිරීම, සැපයුම් දාම කළමනාකරණය සහ ගබඩා පහසුකම් වැනි බාහිර සේවා පහසුකම් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 6කට අධික මුදලක් වාර්ෂිකව වැය කළේය. ඊට අමතරව මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව පවත්වාගෙන යන කල්බදු (ලීසිං) හා රක්ෂණ ඇතුළු  ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක පැවැත්මට හා රැකියා අවස්ථා නිර්මාණයට රථ වාහන අලෙවි ක්ෂේත්‍රය සෘජුව ම දායකත්වය ලබා දෙන අතර, 2019 වසරට වාහන සඳහා පමණක් රුපියල් බිලියන 124කට අධික මූල්‍ය පහසුකම් පිරිණැමුණු බව ද වාර්තා වේ. 2019 වසරේ දී මෙරට රථ වාහන ආනයනයෙන්  පමණක් උත්පාදනය කළ බදු ආදායම රුපියල් බිලියන 130 ඉක්ම වූ අතර, එය  රජයේ සමස්ත ආදායමෙන් 6.8% කි.

මෙහි දී අදහස් දක්වමින් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්  සංගමයේ සභාපති චාරක පෙරේරා මහතා පැවසුවේ, ” වාහන ආනයනය කිරීම අත්හිටුවීම නිසා රථ වාහන අලෙවි ක්ෂේත්‍රය අඩාල වීම හේතුවෙන්, පසුගිය වසර දෙක තුළ පමණක් මෙම ක්ෂේත්‍රය තුළ 10,000 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා අහිමි වෙලා තිබෙනවා. ඒ වගේ ම දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ අලෙවි නියෝජිතායතන 1,500 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබෙන බව වාර්තා වෙනවා. මේ තත්ත්වය ග්‍රාමීය ආර්ථිකයට සෘජුව ම බලපෑමක් ඇති කරන බව පැවසුවොත් මා නිවැරදියි. ඒ වගේ ම රථ වාහන අලෙවිය අඩු වීම වගේ ම ආයතනික පිරිවැය වැඩි වීම හේතුවෙන් අපගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ආශ්‍රිතව ලබා දුන් කොමිස්, දිරි දීමනා, වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා ආදිය ලබා දීමට නොහැකි වීම නිසා සේවක සේවිකාවන්ගේ ආදායමත් විශාල වශයෙන් අඩු වෙලා. එවැනි පසුබිමක් තුළ රටේ උද්ධමනය 64% ඉක්මවීම නිසා කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන බව පැවසිය යුතු ම යි. ඒ වගේ ම රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ අනාගතය ගැටලුකාරී වීම නිසා ම මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත   අත්දැකීම් බහුල වෘත්තිකයින් රට හැර දමා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් විශාල ගැටලුවක්. මෙවැනි හේතු නිසා වර්තමානය වන විට අපගේ සංගමයේ සාමාජිකයින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා සිටින බව පැවසිය යුතු ම යි.” යනුවෙනි.

මෙවන් දුෂ්කර කාල වකවානුවක ආයතනික වශයෙන් හා පෞද්ගලික වශයෙන් බදු වැඩි කිරීම හේතුවෙන් රථ වාහන අලෙවි ක්ෂේත්‍රයට මෙන් ම තවත් ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවකට දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. එමෙන් ම මෙම වාතාවරණය නිසා, ආයතනික වශයෙන් විශාල මුදලක් ආයෝජනය කර පුහුණු කර ඇති පළපුරුදු, අති දක්ෂ වෘත්තිකයින් රටින් පිට වීම ද වැළැක්විය නොහැකි මට්ටමකට පත් වී තිබේ.  දැරිය නොහැකි ආකාරයෙන් බදු වැඩි කිරීම පිළිබඳව අසතුට ප්‍රකාශ කරන CMTA, රජයේ වියදම් අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය   ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වර්ධනය කිරීම සහ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වැනි විසඳුම්  කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. 

1919 දී ආරම්භ කරන ලද  සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්  සංගමය (CMTA), ගෝලීය වාහන නිෂ්පාදකයින්ගේ දේශීය ඒජන්තවරුන්ගෙන් සැදුම් ලත් එක ම  සංවිධානය යි. එමෙන් ම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත CMTA, ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙඳ සංගමය ලෙසින් ද හඳුන්වා දිය හැකිය.  CMTA සංගමයේ සාමාජිකයින් ඉංජිනේරු හා කළමනාකරණ ක්ෂේත්‍ර ආශ්‍රිත නවීන තාක්ෂණය හා ක්‍රමවේදයන් මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන් දහස් ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කරමින්, පුහුණුව ලබා දීම හරහා ජාත්‍යන්තරයට ගැළපෙන වෘත්තිකයින් නිර්මාණය කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *