ඩිජිටල් කුසලතා සංවර්ධනය උදෙසා Huawei විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

0

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී.  මේ හරහා  විශ්ව විද්‍යාල සිසුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර පුහුණු වීම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, Huawei විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ Huawei ICT ඇකඩමියක් සහ ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීමට ද අපේක්ෂා කරයි.  මෙම ගිවිසුම දේශීය තාක්ෂණික කුසලතා පද්ධතිය ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ දියුණුව සඳහා දායක වනු ඇත.

Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් එහි  ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය තිලක්සිරි බණ්ඩාර මහතා, රෙජිස්ට්රාර් අනුරුද්ධ වැලිවිට මහතා, ඉංජිනේරු පීඨයේ  හිටපු පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා,  HoD, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ආචාර්ය නිශාන් ධර්මවීර මහතා, ආචාර්ය චමිත ද අල්විස් මහතා, පරිගණක ඉංජිනේරුකරණ අංශයේ ආචාර්ය රන්දිම දිනලංකාර මහතා,  පරිගණක ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය විජේනායක මහතා, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ කථිකාචාර්ය සඳුන් විජයරත්න මහතා සහ Huawei නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Liam Nixiaopeng මහතා, අධ්‍යක්ෂ ව්‍යවසාය විසඳුම් නදුන් ගුණවර්ධන සහ ඉංජිනේරු සුපුන් ඉඳුරුව මහතා සහභාගී විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා එක්ව ගොඩ නැගීමට යෝජිත ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරය,  උපාධි පර්යේෂණ සඳහා වඩාත් සංවර්ධිත පහසුකම් සපයන අතර කාර්මික අවශ්‍යතා සඳහා විසඳුම් සහ නිෂ්පාදන සංවර්ධනය කිරීමට සහ උසස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තාක්ෂණ පිළිබඳ සහතික කිරීමේ පාඨමාලා සංවිධානය කිරීමට අවස්ථාව සපයයි. මේ පිලිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙලෙස පවසා සිටියි. “ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාල වලින් එකක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා සහ දැනුම සමඟින් සවිබල ගැන්වීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙස මා දකිනවා. අපි Huawei වැනි ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගම්  සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින්, වේගයෙන් වෙනස් වන තාක්‍ෂණයන්ට අනුකූලව ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන්ට හොඳම තාක්‍ෂණ භාවිතයන් සහ ගෝලීය අත්දැකීම් සඳහා අවශ්‍ය නිරාවරණය ලබා දීමට මෙවන් ආකාරයේ සහයෝගීතා ගිවිසුම් හරහා හැකි වෙනවා. 

මේ පිළිබඳ අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao මහතා මෙලෙස පවසා සිටියි.  “ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජාතික විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ හරහා  දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සවිබල ගැන්වීම තුලින් ඩිජිටල්කරණය හරහා දේශීය ආර්ථිකයන් නගා සිටුවීමට අප ක්‍රියා කරනවා.  මෙම හවුල්කාරිත්වය තුළින් අනාගත පරම්පරාවන්ට ඩිජිටල් පරිවර්තන ගමනට නායකත්වය දීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට හැකි වන පරිදි අපි උසස් තාක්ෂණික කුසලතා වලින් සිසුන් සන්නද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.” 

විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගේ කුසලතා සහ උපාධිධාරීන් සම්බන්ධයෙන් ව්‍යාපාරික අපේක්ෂාවන් අතර පරතරය අවම කිරීම සඳහා Huawei කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.  මෙම පුහුණු ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව සහ දකුණු ආසියා කලාපය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ඉල්ලීම් සහ වෙනස්වන අභියෝගවලට මුහුණ දීම සඳහා උසස් තත්ත්වයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා ලබා දීම අරමුණු කරයි.

Huawei හට ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ දශක දෙකක අත්දැකීම් ඇත. මෙම වැඩසටහන දකුණු ආසියානු කලාපයේ සහ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා Huawei විසින් දියත් කරන ලද වැඩසටහන් කිහිපයෙන් එකකි. ශ්‍රී ලංකාව තුළ Huawei විසින් Huawei ASEAN Academy in Sri Lanka, NAITA-Huawei ICT Academy, ICT තරඟාවලි වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්‍රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්‍ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *