Project Blue Next Generation, ශ්‍රී ලංකාවේ සාමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙයි

0

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කරගනිමින් විවිධ ස්වේච්ඡා සංවිධාන, පාරිසරික කණ්ඩායම්, පර්යේෂකයන්, පාරිසරික ක්‍රියාකාරීන්, සිසුන් සහ තවත් බොහෝ පාර්ශ්වයන් එක් කර ගනිමින් සාගර ආරක්ෂණය සහ ඒ ආශ්‍රිතව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ව්‍යාපෘතියක් ලෙස ‘Project Blue Next Generation’ හඳුන්වා දිය හැකි ය.

මෙම ව්‍යාපෘතිය  ‘COP26 අභියෝගතා අරමුදලේ’ සහ ‘දේශගුණික සබඳතා’  පිළිබඳ වැඩසටහනේ ම  කොටසක් වන අතර, එමගින් දේශගුණික විපර්යාසයන් ආශ්‍රිත අභියෝගවලට මුහුණ දීම සඳහා ලොව පුරා ජනතාව බලගන්වයි. British Council ආයතනය මගින් කලාව, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂාව යන අංශ හරහා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන අතර, මෙම ව්‍යාපෘතිය ඊට හාත්පසින් ම වෙනස් අංශයක් ආවරණය කරයි.

බොහෝ විද්වතුන් සහ නායකයින් පවසන අන්දමට වර්තමානයේ මානව වර්ගයා මුහුණ දෙන ප්‍රබලත ම ගැටලුව වන්නේ දේශගුණික විපර්යාසයි. දේශගුණික විපර්යාස නිසා ඇති වන අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම ඉතා වැදගත් ය. එමෙන් ම බොහෝ පරිසර පද්ධති සහ වන ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින නිසා  සමුද්‍රීය සහ වෙරළබඩ පරිසරය විශේෂිත ය.

එම නිසා ම සමුද්‍රීය පරිසර ආරක්ෂණය, වෙරළ සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත වීමට තරුණ පරම්පරාවේ දැනුම වර්ධනය කිරීම සහ ඒ සඳහා ඔවුන් පෙළඹවීම ‘Project Blue Next Generation’ ව්‍යාපෘතියෙහි ප්‍රධානත ම අරමුණයි.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වූ අතර, එම වැඩසටහන් දෙක ම අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. මෙහි පළමුවන වැඩසටහන ලෙස විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන්, ‘සාගරය සුරැකීම නිවසින් පටන් ගනිමු’ යන තේමාව යටතේ වැඩමුළු මාලාවක් දිවයින පුරා පැවැත්වුණු අතර, Project Blue Next Generation, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. දින 3 ක් පුරා පැවැත්වුණු එම දැනුවත් කිරීමේ සැසි තුළ දී දින 14 ක ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දුන් අතර, එම ක්‍රියාකාරී සැලැස්ම නිවසේ දී ක්‍රියාත්මක කිරීම සඳහා එම වැඩමුළුවට සහභාගි වූවන් දිරිමත් කෙරිණි. ඔවුන් නිවසේ භාවිත කරන දිරාපත් නොවන නිෂ්පාදන වලින් ඈත් වී, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හෝ දිරාපත් වන නිෂ්පාදන වෙත මරුවීම කෙරෙහි මෙන් ම  එදිනෙදා ජීවිතයේ දී දිරාපත් වන නිෂ්පාදන භාවිත කිරීමේ පුරුද්ද ඇතිකර ගැනීම සඳහා  ඔවුන්ට සහයෝගය ලබා දීම එම ක්‍රියාකාරී සැලැස්ම මගින් අරමුණු කෙරිණි. එමගින් පරිසරයට සහ විශේෂයෙන් සාගරවලට සිදුවන හානිය ද අවම කිරීම අපේක්ෂිත ය.

Project Blue Next Generation ව්‍යාපෘතියේ දෙවැනි වැඩසටහන ලෙස, තෝරාගත් ප්‍රධාන මාතෘකා කිහිපයක් සහ සාගර ජීවීන් කෙරෙහි එහි බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘සාගර තිරසාරත්වය’ යන තේමාව යටතේ  වෙබ්නාර් මාලාවක් පැවැත්විණි.  මෙම වැඩසටහන් සඳහා විවිධ සමාජ මට්ටම්වල පුද්ගලයින් සහභාගි වූ අතර, ඔවුහු සියලුම දෙනා සංරක්ෂණ සහ ප්‍රජා මූලික ව්‍යාපෘති සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. මෙහි දී රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සාමුද්‍රික භූ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මඬුල්ලක් විසින් මෙම වෙබිනාර් මාලාව මෙහෙයවන ලදී.

තිරසාර සාගර පරිසරයක් සහ ඒ ආශ්‍රිත නවෝත්පාදන, වෙරළබඩ ප්‍රජාව සහ සාගර සංරක්ෂණය ඇතුළු මාතෘකා කිහිපයක් ඔස්සේ දින 3ක් පුරා පැවත්වුණු මෙම වෙබිනාර්  මාලාව මගින්, තිරසාර වෙරළාශ්‍රිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජනතාවගේ දායකත්වය ලබාගැනීම කෙරෙහි ද අවධානය යොමු විය. එමෙන් ම මෙහි දී පර්යේෂණ මත පදනම් වූ සාමුද්‍රීය අධ්‍යාපනයේ වැදගත්කම සහ තිරසාර සාමුද්‍රීය පාරිසරික බලපෑම් කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

වැඩමුළුවට සහභාගි වූ පුද්ගලයෙක් සිය අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිණි. “මෙවැනි සුවිශේෂී වැඩසටහනක්  සංවිධානය කිරීම ගැන Project Blue Next Generation වෙත මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.  ස්වේච්ඡා සේවකයෙකු විදියට සාගරය සුරැකීම සඳහා දායක වීමට ලැබීම මට මහත් සතුටක්. එම වැඩසටහනේ දී කසළ කළමනාකරණය ඉහළ නැංවීම පිළිබඳවත් සුවිශේෂී සංකල්පයන් ඉදිරිපත් වුණා. මෙම වැඩසටහනේ කොටස්කාරයෙක් වීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වෙනවා.”

Project Blue Next Generation හි සම්බන්ධීකාරක සශ්‍රීකා සේනානායක මහත්මිය මෙසේ පැවසුවාය.  “සමස්තයක් විදියට ගත් විට, මෙම කාලෝචිත ව්‍යාපෘතිය මගින් පාරිසරික ගැටලු සහ දේශගුණික විපර්යාස අවම කිරීම ගැන මේ රටේ තරුණ තරුණියන් කෙතරම් උද්‍යෝගිමත් ද කියන කරුණ ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ වගේ ම අපගේ ඇතැම් පුරුදු වෙනස් කිරීම මගින් සාගර සහ සාමුද්‍රීය පරිසරය සුරැකීමේ හැකියාව මෙහිදී හොඳින් ම පෙන්නුම් කළා. ඒ වගේ ම මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට සමාජ වගකීම් සහිත අනාගත නායකයින් බිහිකිරීම සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දෙනවා.”

අද දක්වා Project Blue Next Generation ව්‍යාපෘතිය මනා සාර්ථකත්වයක් ළඟාකරගෙන ඇති අතර, British Council වැනි ආයතනවල සහයෝගයෙන් ලොව තුළ වෙනසක් ඇති කිරීමටත්, අනාගත පරම්පරාව සාගර සංරක්ෂණය සඳහා දායක කර ගැනීමටත් හැකි වනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *