පැල්වත්ත,‍ කොවිඩ් 19 වසංගතයෙන් පසුත් දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි

0

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත‍ කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී, , COVID-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන සැපයීමට පැල්වත්ත සතු කැපවීම මෙන්ම, ප්‍රායෝගික හැකියාවද පෙන්නුම් කෙරිණි.

2020 මාර්තු 20 සිට ශ්‍රී ලංකා රජය මගින්  බල පවත්වන ලද, අඛණ්ඩ ඇඳිරි නීතිය හා වෙනත් හදිසි පියවරයන්ට අනුකූලව, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා ඇතැම් ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් අඛණ්ඩ සීමා පනවන බව ප්‍රකාශයට පත් කෙරිණි. එම නිසා, ඉතා කෙටි කාලයක් තුළ අභියෝගය ජය ගැනීම පිණිස, සෑම කෘෂිකාර්මික හා ආහාර ක්ෂේත්‍රයකම ස්වයං පෝෂිතතාවය සහතික කෙරෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට දේශීය ආහාර නිෂ්පාදකයින්ගේ හා කිරි නිෂ්පාදකයින්ගේ අදහස්, යෝජනා හා ගැටලු ආදිය ඇතුළත් සවිස්තර අධ්‍යයනයක් සිදු කෙරීම කාලීන අවශ්‍යතාවයක් විණි. ඒ අනුව, රජයේ ඉල්ලීමට කන් දෙමින් දේශීය කිරි ගොවියන් නගා සිටුවීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලාංකීය කිරි කර්මාන්තයේ ස්වයං පෝෂිතතාවය සඳහා මග පාදන සැලකිය යුතු තොරතුරු ගණනාවක්, පැල්වත්ත මගින් ඉදිරිපත් කෙරිණි.

“වර්තමානයේදී අපේ කිරී ගොවීන් නැවුම් අමු කිරි සඳහා හොඳම මිලක් ලබා ගන්නා බවට අපි සහතික කරනවා. කොහොම වුණත්, මහා පරිමාණ දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ සලකා බලද්දි, ක්ෂුද්‍ර මූල්‍ය මගින් කිරි ගොවීන් නංවාලීමෙන් ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයකට එතරම් දායකත්වයක් ලැබෙන්නෙ නැහැ. මෙය රජයේ පූර්ණ මැදිහත් වීම අවශ්‍ය වන ක්ෂේත්‍රයක් වන අතර, එවැන්නක් කිරි කර්මාන්තයේ දිගුකාලීන ස්වයංපෝෂිත භාවය ස්ථාපිත කිරීමේ දැවැන්ත පිම්මක් වෙනවා. මෙවැනි පියවර, දේශීය හෝ කලාපීය අභිජනන සේවාවන් මගින් කිරි දෙනුන් සංඛ්‍යාව වැඩි කර ගනිමින් ගොවීන්ට ස්වකීය ගව පට්ටි ප්‍රමාණයෙන් විශාල කර ගැනීමට ඉවහල් වෙනවා. මෙන්ම, ඉහළ පෝෂණ ගුණයෙන් යුත් තණකොළ හා  ප්‍රමිතියට සකස් කළ තෘණ හා සාන්ද්‍රික ආහාර ආදිය මගින් කිරි දෙනුන්ගේ ආහාර වල ගුණාත්මක භාවය වැඩි කිරීමේ හැකියාව ලැබෙනවා.” පැල්වත්ත කර්මාන්ත ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක සඳහන් කළේය.

“දේශීය කිරි නිෂ්පාදකයින්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආනයනික නිෂ්පාදනවලට වඩා බෙහෙවින් උසස් බවත්, නැවුම් බවත් මැනවින් පෙන්වා තිබෙනවා. පැල්වත්ත අපි, ආනයනික කිරිවලට කිසිසේත් කළ නොහැකි, පැය 72 කට අඩු කාලයක් ඇතුළත ගොවිපළවලින් ලබා ගන්නා කිරිවලින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන බවට සහතික කරනවා. COVID-19 වසංගත අර්බුදය අතරතුර, දේශීය සන්නාමවල නිෂ්පාදන භාවිත කළ යුතු බව ජනතාවට ඒත්තු ගැන්වුණා. එහෙත් දේශීය සන්නාම හමුවේ පවතින අභියෝගය වනුයේ,  සෑම පාරිභෝගිකයකුටම කිරි නිෂ්පාදන මිලදී ගත හැකි පරිදි, ප්‍රමාණවත් නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳ පොළට නිකුත් කිරීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම, අපගේ සැපයුම් ජාලයේ සාර්ථකත්වය හා දේශීය කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ තිරසාර දියුණුව බලපානවා.” දේශිය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතතාව හමුවේ පවතින අභියෝග පිළිබඳ වික්‍රමනායක මහතා අවධාරණය කළේය.

මාස 2 ක් වැනි කෙටි කාලයක් තුළ දිනපතා කිරි නිෂ්පාදනය 50% කින් වැඩි කිරීම සඳහා හේතුවන කාරණයක් වශයෙන්, ගවයින් සඳහා අධි ශක්ති සලාක නිවැරදි අනුපාතයෙන් ලබා දීම පැල්වත්ත විසින් හඳුනා ගෙන තිබේ. මෙය කුඩා පරිමාණ කිරි ගොවීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගවලින් එකක් වන බැවින්‍, ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතතාවය කෙරෙහි ධනාත්මක ලෙසින් බලපාන කාරණයක් වී තිබේ. දේශීය කිරි කර්මාන්තය ස්වයංපෝෂිත කිරීමේ පළමු පියවර වශයෙන්,‍ ශ්‍රී ලංකා රජය දේශීය කිරිපිටිවල මිල ඉහළ දැමීමට අවසර දුන් අතර, 2020 අප්‍රේල් 28 වැනිදා වන විට, නව මිල අනුව, කිරිපිටි 1 kg පැකට්ටුවක් රු. 945 කටද, 400g පැකට්ටුවක් රු. 380 කටද වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. දීර්ඝ කාලයකට විකුණුම් මිලෙහි වෙනස් වීමක් සිදු වී නොමැති අවස්ථාවක මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. දේශීය කිරි ගොවීන්ගේ සැපයුම් ජාලය වැඩිදියුණු කිරීම දේශීය කිරි නිෂ්පාදකයින් මුහුණ පා සිටින අභියෝගයකි. එබැවින් කුඩා කිරි ගොවීන් ජාලය තුළ යළි පණ ගැන්වීමෙහිලා ආයෝජනය කළ හැකි පරිදි ඉහත කී මිල ඉහළ දැමීම සිදු කරන ලෙස රජයෙන් ඉල්ලුම් කෙරිණි.

රජය මගින් කිරි පිටි සඳහා සාධාරණ මිලක් ලබා දීම, කිරි ගොවි ව්‍යාපාරයේ දියුණුවටද වක්‍රව බලපාන බව පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සාමාන්‍යාධිකාරී ලක්සිරි අමරතුංග මහතා පවසයි. තවදුරටත් පැහැදිළි කරන ඔහු මෙමගින් ගොවීන්ගේ කිරි සඳහා නියමිත මිලක් ලබා දීමටද, කුඩා පරිමාණ කිරි ගොවියාගේ නිෂ්පාදන ශක්තිය වැඩි කරලීමටද හේතු සාධක වනු ඇති බව පවසයි. එනිසා පැල්වත්ත ඇතුළු දේශීය කිරි නිෂ්පාදකයින්ට වෙළෙඳ පොළ තවදුරටත් වර්ධනය කර ගැනීමට හා කිරි නිෂ්පාදන ආනයන අඩු කරලීමට හැකියාව ලැබෙනවා. වෙනත් ලෙසකට පැහැදිලි කරනවා නම්,‍ වැය වන විදේශ විනිමය අඩු කිරීමට දායක වීමට අපට හැකියාව ලැබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අවස්ථාවක මෙය ඉතා කාලෝචිතය. ආනයනික ආහාර දිගින් දිගටම රටට මිලදී ගැනීමට නොහැකි බව පැහැදිලිව පෙනෙන කාරණයක් නිසා අපගේ ශක්‍යතාවන් පිළිබඳ අවධානය යොමුකර, ස්ථිරවම ස්වයංපෝෂිත වීමට කටයුතු කළ යුතු හොඳම අවස්ථාව මෙයයි. මිල ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිල ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් සෑම ගොවියකුගේම ඵලදායිතාව අවම වශයෙන් 10% කින් වැඩි කිරීමට අපි සැලසුම් කරනවා. ප්‍රමාණයක් වශයෙන්,‍ මාස 12 සිට 18 කාලයක් ඇතුළත කිරි එකතුව 100% කින් වර්ධනය වීමක් එමගින් දැක ගත හැකියි.” වැඩිදුරටත් සඳහන් කළේය.

COVID-19 අර්බුදය හේතුවෙන් බොහෝ ගම් මට්ටමේ නිෂ්පාදන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවන් අන් කවරදාටත් වඩා පැන නැගී තිබේ. වර්තමානයේ දේශීය කිරි ඉල්ලුමෙන් තුනෙන් දෙකක් සපුරාලනු ලබන්නේ, ආනයනික කිරිපිටි මගින් වන අතර, වාර්ෂිකව ඩොලර් මිලියන 400 ක් වැය කරමින්, මෙ. ටොන් 100,000 කට අධික කිරිපිටි ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ. මීට ස්ථිර විසඳුමක් ලබා නොගතහොත්, එය දේශීය ආර්ථිකය කෙරෙහි සෘජුවම බලපෑ හැක. අද වන විට, දේශීය කිරි නිෂ්පාදනය සඳහා පවතින ඉල්ලුම කිරිපිටි මගින් පමණක් නොව, දියර කිරි,‍ බටර්, චීස් හා අයිස්ක්‍රීම් මෙන්ම අනෙකුත් අතුරු නිෂ්පාදන මගින්ද සපුරා ලිය හැකි බව දේශීය කිරි නිෂ්පාදකයකු වන පැල්වත්ත සමාගම විශ්වාස කරයි. එබැවින් කිරි නිෂ්පාදන අතින් රට ස්වයංපෝෂණය කිරීමට රජයට දායක වීමට  පැල්වත්ත මෙන්ම, ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශීය කිරි නිෂ්පාදකයින් සියලු දෙනා ද අත්වැල් බැඳගෙන සිටියි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *