තහනම නමැති ‘තෑග්ග’ ජාවාරම් පෝෂණය කරන ප්‍රතිපත්තිමය අගාධයකි
ඕනෑම භාණ්ඩයකට වෙළෙඳපොළේ ඉල්ලුමක් පවතින තාක් කල්, විද්‍යාත්මක සහ ප්‍රායෝගික කරුණු නොසලකා හරිමින් පනවන දුර්වල තහනම් කිරීම් මගින් සිදුවන්නේ මහජන සෞඛ්‍යය ආරක්ෂා වීම නොව, ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතට වෙළෙඳපොළ පාලනය නිතැතින්ම පත්වීමයි. ඉතිහාසය දෙස බලන විට, 1920 දශකයේ ඇමරිකාව පැනවූ මත්පැන් තහනම මීට කදිම නිදසුනකි. එහි ප්‍රතිඵලය වූයේ ඇමරිකානුවන් මත්පැන් පානය නතර කිරීම නොව, ‘අල් කැපෝන්’ වැනි මිනීමරු පාතාල නායකයින් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි දේශපාලනයටත් වඩා බලවත් වීමයි. අද වන විට ලෝකයේ ඇතැම් රටවල් දුම් රහිත නිකොටින් නිෂ්පාදන සහ වේප් (Vape) සම්බන්ධයෙන් අනුගමනය කරන ‘තහනම් කිරීමේ’ ප්‍රතිපත්තිය ද ඒ හා සමාන ව්‍යසනකාරී ප්‍රතිඵල උදාකර දෙමින් පවතී.
මෙවැනි තහනම් කිරීම්වල වඩාත් දරුණුතම ප්‍රතිවිපාකය වන්නේ නියාමනයක් නොමැති, ප්‍රමිතියෙන් තොර සහ අතිශය භයානක ‘ජාවාරම්’ ජාලයන් නිර්මාණය වීමයි. උදාහරණයක් ලෙස, මෑතකදී මෙක්සිකෝව පැනවූ වේප් අලෙවි තහනම නිසා සිදු වූයේ ඩොලර් බිලියන 1.5ක් වටිනා දැවැන්ත කර්මාන්තය ‘කාටෙල්’ (Cartels) වැනි අතිශය භයානක අපරාධ කල්ලිවල අතට පත් වීමයි. නිසි ක්‍රියාකාරී මාර්ගෝපදේශ හෝ පැහැදිලි දඬුවම් නොමැති ව්‍යාකූල නීතිමය වාතාවරණයක් තුළ අපරාධකරුවන් ඉතා පහසුවෙන් සිය බලය පතුරුවන අතර, එහිදී පාරිභෝගිකයාට තමන් භාවිතා කරන්නේ කුමන රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන ද යන්න පිළිබඳව කිසිදු වගකීමක් නොමැත. ‘රියා’ (Rea) ආයතනයේ පර්යේෂණ දත්තවලට අනුව, මෙවැනි තහනම් කිරීම් හරහා රජය විසින් නිර්මාණය කරනු ලබන ‘භයානක හිඩැස’ පාරිභෝගිකයාට හෝ මහජන සෞඛ්‍යයට කිසිදු සහනයක් ලබා නොදෙන අසාර්ථක පියවරකි.
තහනමක තවත් ප්‍රධාන අතුරුඵලයක් වන්නේ බාලවයස්කරුවන් ආරක්ෂා කිරීමේ වගකීම රජයෙන් ගිලිහී යාමයි. නීත්‍යානුකූල වෙළඳපොළක පවතින ‘වයස තහවුරු කිරීමේ’ දැඩි ක්‍රමවේදයන් ජාවාරම් තුළ ක්‍රියාත්මක නොවන බැවින්, තරුණ පරම්පරාව වඩාත් පහසුවෙන් සහ රහසිගතව මෙවැනි දෑට යොමු වේ. කෙන්යාවේ අත්දැකීම් පෙන්වා දෙන්නේ තහනම නිසා පාරිභෝගිකයින් ජාවාරම් වෙත තල්ලු වන අතරම බාලවයස්කරුවන් ද දැඩි අනතුරකට වැටෙන බවයි. ‘ආරක්ෂිත විකල්ප සඳහා වන ව්‍යාපාරය’ (CASA) සිදුකළ සමීක්ෂණයකට අනුව, 81%ක් පිරිස පවසන්නේ මෙවැනි තහනම් කිරීම් නිසා නිෂ්පාදන කෙලින්ම ජාවාරම්කරුවන් වෙත ඇදී යන බවයි. මෙය මහජන සෞඛ්‍යය සුරැකීමට අපොහොසත් වනවා පමණක් නොව, අපරාධකරුවන් පොහොසත් කිරීමටත්, නීත්‍යානුකූල රැකියා දහස් ගණනක් විනාශ කිරීමටත් මග පාදා ඇත.
ආසියානු කලාපයේ සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල දත්ත ද තහවුරු කරන්නේ තහනම මඟින් ‘ඉල්ලුම’ නැති කළ නොහැකි බවයි. සිංගප්පූරුව 2018 වසරේ සිට පූර්ණ තහනමක් පනවා තිබුණ ද, එරට වේප් භාවිතය 3.9% සිට 5.2% දක්වා ඉහළ ගොස් ඇත්තේ නියාමනය නොකළ නිෂ්පාදන භාවිතය ඉහළ නංවමිනි. මැලේසියාවේ ද මිලියන 1.1ක් පිරිස දැනටමත් මෙවැනි අනාරක්ෂිත නිෂ්පාදන භාවිතා කරන්නේ නීත්‍යානුකූලව ආරක්ෂිත ප්‍රවේශයක් නොමැති බැවිනි. මැලේසියානු සිල්ලර ඉලෙක්ට්‍රොනික දුම්වැටි සංගමයේ (MRECA) සභාපති අඩ්වාන් අබ් මනාස් පෙන්වා දෙන්නේ, තහනම නිසා පාරිභෝගිකයන් තමන් නොදන්නා විෂ ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනවලට ගොදුරු වීමේ සහ ඇබ්බැහි වීමේ දැඩි අවදානමක් පවතින බවයි. මෙය තහනම හරහා රජය විසින්ම නිර්මාණය කරන ලද අනාරක්ෂිත සෞඛ්‍ය අර්බුදයකි.
ලොව පුරා අත්දැකීම් පසක් කර දෙන්නේ තහනම යනු කිසිසේත්ම ප්‍රායෝගික විසඳුමක් නොවන බවත්, එය සැබවින්ම අපරාධකරුවන්ගේ මඩි තර කරන ඔවුන්ට ලැබෙන තෑග්ගක් බවත්ය. මහජන සෞඛ්‍ය නිලධාරීන් ප්‍රතිපත්තිමය දුමාරයක අතරමං නොවී, සැබෑ මහජන සෞඛ්‍යය සුරැකීමට නම් ජාවාරම් පරාජය කරන, ප්‍රමිතිය සහ වගකීම සහතික කරන විද්‍යාත්මක නියාමනයක් කරා යා යුතුය. ස්වීඩනය වැනි රටවල් ‘හානි අවම කිරීමේ’ (Harm Reduction) ප්‍රවේශය හරහා සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිද්දී, අනෙක් රටවල් වැටී ඇති මෙම ප්‍රතිපත්තිමය අගාධය දෙස බලා ශ්‍රී ලංකාව මීට වඩා බුද්ධිමත් විය යුතුය. ඒ අනුව, ව්‍යසනකාරී ජාවාරම් වෙළෙඳපොළකට ඉඩ නොතබා, බාලවයස්කරුවන් මෙවැනි දෑට යොමුවීම වැළැක්වීමේ දැඩි ක්‍රමවේද සහිත කාලීන ප්‍රවේශයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.