16 වන පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය අද BMICH හිදී උත්සවාකාරයෙන් ඇරඹේ
දේශීය පාවහන් සහ සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “FOOTWEAR & LEATHER FAIR 2026” ප්‍රදර්ශනය අද (27) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්සවාකාරයෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය (SLFLPMA) මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී විශේෂ අංගයක් ලෙස ප්‍රදර්ශන සමරු කලාපය (Exhibitor Catalogue) අමාත්‍යවරයා අතින් එළිදැක්වුණු අතර, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අද සිට මාර්තු මස 01 වනදා දක්වා දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘතව පවතී.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාවහන් සහ සම්භාණ්ඩ සන්නාමයන් රැසක් එකම වහලක් යටදී දැකබලා ගැනීමටත්, විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමටත් පාරිභෝගිකයන්ට මෙහිදී අවස්ථාව හිමිවන අතර උසස් ප්‍රමිතියෙන් යුත් දේශීය පාවහන්, අත්බෑග්, ගමන් මලු සහ අනෙකුත් සම්භාණ්ඩ නිෂ්පාදන රැසක් ප්‍රදර්ශන කුටි 286 කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය කෙරේ.
උපුටා ගැනීම : අද දෙරණ