යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව නැරඹීමට බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් පිරිසක් පැමිණෙයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ BOI කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා පසුගියදා බ්‍රිතාන්‍යයේ නිල නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙනු ලැබීය. මෙම සංචාරයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්විය. මෙම ක්ෂේත්‍ර සංචාරය තුළදී, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් මෙහෙයවනු ලබන සමාජ හා පාරිසරික පාලන වැඩසටහන්, ප්‍රධාන තිරසාර ව්‍යාපෘතීන්, ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම් හා වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත්, ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය සන්නාම කිහිපයක දේශීය නිෂ්පාදනයන් සිදුවන ආකාරය සියැසින්ම දැක බලාගැනීමේ හැකියාවත් මෙම නියෝජිතයන් පිරිසට හිමිවිය. 1940 වසරේ පළමු නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ගමන්මඟ ඇරඹුණු අතර පසුව 2012 වසරේදී රුපියල් මිලියන 05ක ආයෝජනයකින් හොරණ ප්‍රදේශය වෙත ගෙන යන ලදී. තවද, 2017 වසරේදී කර්මාන්තශාලාව අති නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් බිලියන 7.5ක් ආයෝජනය කරන ලද අතර වර්තමානය වනවිට ශ්‍රී ලාංකීකයන්ගේ ජනාදරයට පත් සන්ලයිට්, ලක්ස්, ලයිෆ්බෝයි , සිග්නල් සහ පෙයාර්ස් බේබි ඇතුළු නිෂ්පාදන රාශියක් හොරණ යුනිලිවර් ශ්‍රී ලංකා කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය වේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. ” ශ්‍රී ලංකාවේ ශක්තීන් හා නවෝත්පාදනයන් පිළිඹිබු කරන හොරණ කර්මාන්ත ශාලාව දැකගැනීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. යුනිලිවර් ශ්‍රී ලංකා සන්නාමයන් දේශීය ජනතාවගේ ප්‍රියතම සන්නාම බවට පත්වී ඇති ආකාරය සහ ජාතික ආර්ථිකය නංවාලීමේ අරමුණින් කාර්මික අංශයේ දායකත්වය ඉහළ නැංවීම සඳහා වසර 85කට වැඩි කාලයක් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි  ප්‍රධාන භූමිකාවත් ඉතා ප්‍රශංසනීයයි. බ්‍රිතාන්‍ය සමාගම් වලට ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කිරීමට සලසා දෙමින් ශ්‍රී ලංකාව තුළ තිරසාරවත් ආර්ථිකයක් ගොඩනැඟීමේ මාවතට සහය දැක්වීමට මම උන්නදු වෙනවා.”

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. “යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්ත ශාලාව තිරසාරභාවයේ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙනයාම, නිෂ්පාදන සහ ගබඩා ක්ෂේත්‍රවල නවීන තාක්ෂණික උසස් විසඳුම් යොදාගැනීම මෙන්ම විකල්ප බලශක්ති භාවිතය ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. ඒ වගේම මෑතකාලයේ දී  යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නව කර්මාන්තශාලාවකට මුල්ගල් තැබීම සහ හොරණ කර්මාන්තශාලාව වෙනුවෙන් සූර්ය බලශක්තිය ආයෝජනය කිරීම ප්‍රශංසනීයයි. එය සමාගමේ දිගුකාලීන සැලසුම් මෙන්ම ශ්‍රී ලංකා වෙළෙදපලට ඇති කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.”

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙසේ සිය අදහස් දක්වන ලදී. “ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා වන අතිගරු ඇන්ඩෘෘ පැට්‍රික් මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා ඇතුළු බ්‍රිතාන්‍යයේ සම්භාවනීය අමුත්තන් අපගේ හොරණ කර්මාන්තයශාලාව නැරඹීමට පැමිණීම අපට මහත් ගෞරවයක්. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙරට ජාතික ආර්ථිකයට දායක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා හොරණ කර්මාන්ත ශාලාවේදී අප ලබා ඇති විශාල ප්‍රගතිය නියෝජිත පිරිසට ප්‍රදර්ශනය කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. වසර 85ක් පුරාවට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම දේශීය රැකියා උත්පාදනය කිරීම, අනාගතයට යෝග්‍ය කුසලතාවලින් අපගේ කණ්ඩායම සන්නද්ධ කිරීම සහ නවෝත්පාදන, තිරසාරභාවය යන කරුණු මත පදනම්ව ක්ෂේත්‍රයේ අනාගත සාර්ථකත්වය ඉහළ නැංවීමට දායක වන පරිසරයක් අඛණ්ඩව සංවර්ධනය කිරීම  කෙරෙහි අවධානය යොමුකර ඇත.”

යුනිලීවර් ශ්‍රී ලංකා  සමාගම හොරණ කර්මාන්තශාලාව වැසි ජලය රැස්කිරීම , අපද්‍රව්‍ය අවම කිරීම, තාප ශක්තිය ප්‍රතිසාධනය මෙන්ම හරිතාගාර වායු විමෝචනය අවමකිරීම , පුනර්ජනනීය බලශක්ති භාවිතය වැනි ක්‍රියාවලින් තුළින් ස්වභාවික සම්පත් පරිභෝජනය අවම කිරීම මඟින් දේශගුණික විපර්යාසයන් වලට සාර්ථකව මුහුණදීමට හැකිවන ආකාරයෙන් සැලසුම් කර තිබේ. එසේම පළමු කාන්තා ශ්‍රම බලකාය හොරණ කර්මාන්තශාලාවට බඳවාගනිමින් විවිධත්වය මතුකිරීම හරහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. තවද, තම මෙහෙයුම් වලින් පරිසරයට සිදුවන බලපෑම් හඳුනාගැනීම හා කළමනාකරණය, අවමකිරීම ඇගැයීමට ලක්කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින්  පිරිනමන ISO 14001:2015 සහතිකයෙන් ද මෙම කර්මාන්ත ශාලාව පිදුම් ලබා තිබේ.

දිවයිනේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවිවන පාරිභෝගික නිෂ්පාදන (FMCG) සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සතුව 100,000කට ආසන්න අලෙවිසැල් වල සිය නිෂ්පාදන පවතින අතර, තවද දිවයින පුරා බෙදාහරින්නන් 50කට අධික ජාලයක් හරහා පුද්ගලයින් 3500කට පමණ  වක්‍රව රැකියා අවස්ථා උත්පාදනය කරමින් සමස්ත ශ්‍රී ලංකාවේ ආර්ථික උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරයි. එහි වර්තමාන නිෂ්පාදන කළඹට ගෘහ රැකවරණය , පුද්ගලික සත්කාර සහ පාරිභෝගික භාණ්ඩ වැනි කාණ්ඩ යටතේ නිෂ්පාදනයන් අන්තර්ගත වන අතර එයට ප්‍රමුඛ පෙළේ වෙළෙඳනාම 30ක් ඇතුළත් වේ. එහි නිෂ්පාදනවලින් 97%ක් දැඩි නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව දේශීය වශයෙන් නිෂ්පාදනය කරමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, කර්මාන්ත ප්‍රමිතීන් සැකසිමේ ප්‍රමුඛතමයා ලෙස ක්‍රියාත්මක වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *