Softlogic Information Technologies Ltd (SITL), ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ආරක්ෂිත දත්ත මධ්‍යස්ථානය දියත් කරයි

0

Softlogic Information Technologies Ltd. (SITL) විසින් ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ඩිජිටල් දත්ත මධ්‍යස්ථානය පසුගියදා සාර්ථකව ස්ථාපිත කරන ලදී. CRIB යනු දකුණු ආසියානු කලාපයේ පළමු ණය තොරතුරු කාර්යාංශය වන අතර එය දශක තුනකට වැඩි කාලයක්, රටේ මූල්‍ය ව්‍යුහය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ විනයගරුක ණය සංස්කෘතියක් ඇතිකිරීම සඳහා සිය නිහඬ දායකත්වය ලබා දෙමින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියා කරන එක් බල කණුවකි.

සිය තාක්‍ෂණික ගමන්මගේ තවත් එක් පියවරක් ලෙස, CRIB විසින් සපයන සේවාවන්, යටිතල පහසුකම් සහ යෙදවුම් පුළුල් කිරීම තුළින් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, නවෝත්පාදනයන් සක්‍රීය කිරීම සහ වැඩිදියුණු කළ පාරිභෝගික අත්දැකීම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම නව යටිතල පහසුකම් මඟින් සේවාදායකයින්ට අවශ්‍ය ඕනෑම මොහොතක දත්ත වෙත ප්‍රවේශ වීමට සහ කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. තවද ශ්‍රී ලංකාවේ එකම ණය කාර්යාංශය වන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සමඟ එක්ව කටයුතු කරන SITL, CRIB හි යටිතල ව්‍යුහයටම සුවිශේෂී වූ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවකින් යුතු ආරක්ෂාකාරී සහ නම්‍යශීලී දත්ත මධ්‍යස්ථානයක් සහ Cloud පද්ධතියක් සාර්ථකව ස්ථාපිත කිරීම එහි කැපීපෙනෙන ජයග්‍රහණයකි.

SITL විසින් ස්ථාපිත CRIB දත්ත මධ්‍යස්ථානය, රටේ විශාලතම දත්ත මධ්‍යස්ථානය වන අතර එය මිලියන 13 කට අධික වාර්තා සුරක්ෂිත කිරීම සඳහා වඩාත් පුළුල් සයිබර් ආරක්ෂණ උපාය මාර්ගයක් භාවිතා කරයි. කාර්යක්‍ෂම දත්ත කළමනාකරණය, ක්‍රියාවලි පරිපාලනය, දත්ත රහස්‍යභාවය සහ ක්‍රියාවලි අඛණ්ඩතාව ඉහළම තත්ත්වයකින් සහ ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙනයාම සඳහා එය සංවර්ධනය කරන ලදී. CRIB ශ්‍රී ලංකාවේ මූල්‍ය යටිතල ව්‍යුහයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර රට තුළ විනයගරුක ණය සංස්කෘතියක පදනම තවදුරටත් ශක්තිමත් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ අධ්‍යක්ෂ රොෂාන් රසූල් පවසා සිටියේ, ” ඉහළ ධාරිතාවයකින්, ආරක්‍ෂිත සහ නම්‍යශීලී දත්ත මධ්‍යස්ථානයක් සහ Cloud පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම CRIB හි උපාය මාර්ගයේ කේන්ද්‍රයයි. CRIB දත්ත මධ්‍යස්ථානයේ සාර්ථක සංවර්ධනය තුළින් දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය තුළ යටිතල පහසුකම් නවීකරණ සඳහා අපගේ දායකත්වය, අඛණ්ඩ කැපවීම තහවුරු වීම අප ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්. මේ සඳහා සහය වූ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම මම ස්තූතිවන්ත වන අතර, මෙම යටිතල පහසුකම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අප කෙරෙහි විශ්වාසය තැබූ ණය තොරතුරු කාර්යාංශයට මගේ කෘතඥතාව පළ කිරීමටද කැමතියි.”

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි මහතා සිය අදහස් බෙදාගනිමින් පවසා සිටියේ “Softlogic IT විසින් දත්ත මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම අප බලාපොරොත්තු වූවාට වඩා විශිෂ්ට අන්දමින් සිදු කළා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම වෙනුවෙන් වසංගතය නොතකා සියලුම කණ්ඩායම්වලට එකට වැඩ කිරීමට සිදු වූ අතර එය ලෙහෙසි පහසු කාර්යක් උනේ නැහැ. මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරගැනීමට අපගේ විශිෂ්ටතම සහකරු  Softlogic IT සමාගම විශේෂ සහයෝගයක් දැක්වූ අතර ඔවුන් සමඟ එක්ව කටයුතු  කිරීමට ලැබීම අපි ලද භාග්‍යක් සේ සලකනවා.”

SITL සතු වසර 30කට අධික පළපුරුද්ද, දේශීය හා ජාත්‍යන්තර තාක්ෂණික වෙළඳපොළට සේවා සැපයීම තුළින් ලද තිරසාර සාර්ථකත්වය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ වර්ධනය සඳහා සිදුකල අසීමිත කැපවීම මෙම දත්ත මධ්‍යස්ථානය සාර්ථකව නිම කිරීම සඳහා ඉමහත් රුකුලක් විය. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ඩේටා මධ්‍යස්ථාන දියත් කිරීම් 70 කට අධික ප්‍රමාණයක් තමන් සතු කරගත් SITL, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව විසඳුම් සපයන ප්‍රමුඛතම සමාගමක්ද වේ. බොහෝ බැංකු, මූල්‍ය ආයතන, නිෂ්පාදන ව්‍යවසායන් සහ විශාල/මධ්‍යම ප්‍රමාණයේ ආයතන ආරක්ෂිත දත්ත ගබඩා කිරීමේ විසඳුම් සඳහා SITL හවුල් කර ගනී. දැනට SITL, DELL සමඟ Titanium හවුල්කාරිත්වය සහ VMware සමඟ ප්‍රධාන හවුල්කාරිත්වය දරන අතර  එය ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබල සංධිස්ථානයකි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *