DIMO සමාගම රුහුණු විශ්ව විද්‍යාලය සමඟ එක්ව කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් සදහා අත්වැල් බැඳගනී

0

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමඟ සහයෝගීතාවකට එළඹුණි.

DIMO සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණ ක්‍රියාවලිය වේගවත්  කිරීමට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට  සම්බන්ධ  පාර්ශ්වකරුවන්ට  තාක්ෂණික දැනුම ලබා දීම සදහා පහසුකම් සැලසීමයි.  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීම හා අනුවර්තනය කිරීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කරන අතර, කෘෂිකාර්මික අංශයේ උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක්යින්ගේ  පර්යේෂණ අවශ්‍යතා සඳහා ද පහසුකම් සලසයි.

DIMO සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “කෘෂිකාර්මික ක්ෂේත්‍රය සදහා නවීන තාක්ෂණය  හඳුන්වා දීම අතින් DIMO සමාගම ඉදිරියෙන් ම  සිටින බවයි.  ඕනෑ ම ක්ෂේත්‍රයක දියුණුව සඳහා කර්මාන්ත අංශය, විශ්ව විද්‍යාල  පද්ධතිය  සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.  මෙම වැඩසටහන ඒ සදහා හොද උදහරණයක්. ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම සඳහා අපි සැමවිට ම කැපවෙනවා. මෙම සහයෝගීතාව තුළින් දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ DIMO සමාගම ගොඩනඟාගත් සහයොගීතාව, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සඳහා ශක්තිය ලබා දෙන අතර, යන්ත්‍රෝපකරණ ආශ්‍රිත නවෝත්පාදන අලෙවියට සහ පේටන්ට් බලපත්‍රය ප්‍රවර්ධනයට ද අවස්ථාව උදාකර දෙයි.  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීමට සහ උපාධි අපේක්ෂකයින් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමට ද මෙම  සහයෝගීතාව මගින් පහසුකම් සලසයි. ඊට අමතරව කෘෂිකර්මාන්තයට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයේ දැනුම බෙදා හැරීම සඳහා සන්නිවේදන ක්‍රමවේද සැකසීමට ද මෙම සහයෝගීතාව පහසුකම් සපයයි.

එමෙන් ම මෙම සහයෝගීතාව මගින් උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් වෙත කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ආශ්‍රිත පුහුණුව ලබා දීම වෙනුවෙන් ද ඉතා සිවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අතර, මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ  උපාධි අපේක්ෂකයින්ගේ කාර්මික කුසලතා වර්ධනය කිරීම සඳහා කාර්මික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ  විද්වතුන්, ගොවියන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මෙම වැඩසටහන් හරහා නවතම කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට ද DIMO සමාගම කටයුතු කරයි.

මෙම සහයෝගීතාව යටතේ අවශ්‍ය යන්ත්‍රෝපකරණ, පර්යේෂණ කටයුතු සදහා අවශ්‍ය සම්පත් DIMO සමාගම ලබා දෙයි. එමෙන් ම මෙම වැඩසටහන සඳහා රුහුණු විශ්වවිද්‍යාලය සිය විශේෂඥතාව, දැනුම සහ සම්පත් දායකත්වය ලබා දෙයි.

කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය වී පැල සිටවීමේ,වල් පැල ගලවන   හා වියළන යන්ත්‍ර නිර්මාණය ආදී ක්ෂේත්‍ර ඔස්සේ උපාධි අපේක්ෂකයින් විසින් සිදු කෙරුණු පර්යේෂණ ව්‍යාපෘති කිහිපයකට ම දැනටමත් සහාය ලබා දී ඇති අතර, එම නව නිපැයුම්වල මූලාකෘතිවල නිර්මාණ කටයුතු මේ වන විට අවසන් වී ඇත.

ඡායාරූප :

DIMO සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ගිවිසුම් හුවමාරු කරගනිමින්.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *