පැල්වත්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව මුහුණුවරක්…

0

පැල්වත්ත සමාගම නිරන්තරයෙන්ම නැවුම් එළකිරි ආශ්‍රිත නිෂ්පාදන සපයන ජාතියේ විශ්වාසවන්තම කිරි නිෂ්පාදකයා ලෙස හැදින්විය හැකිය. පසුගියදා සමාගම සිය පරිපාලනය සහ නායකත්වය ශක්තිමත් කිරීම උදෙසා තවත් පියවරක් ගනු ලැබීය. දේශීය කිරි නිෂ්පාදනය මත පමණක් යැපෙන කිරි නිෂ්පාදන සන්නාම අතරින් ශ්‍රී ලංකාවේ නියමුවා බවට පත්වීමට සමාගම විශාල මෙහෙවරක නිරතව සිටී. එම මෙහෙවර සාර්ථක වීම උදෙසා ඒ පසුපස නිවැරදි පුද්ගලයින් සිටිය යුතුමය.

සමාගමෙහි නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස තේරී පත්වූ ලසන්ත සිල්වා මහතා වසර ගණනාවක කිරි කර්මාන්තයේ පළපුරුද්ද සහිත ප්‍රවීණයෙකු වශයෙන් හැඳින්විය හැකි ය. ඒ අතරම ඔහු නිෂ්පාදන සේවා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ද හිමිකරගෙන තිබේ. “ඕනෑම ආකාරයකින් රටට සේවයක් කිරීම අරමුණු කරගත් සන්නාමයක් වේනම් එය ඉතාම ගෞරවනීයයි. රටට සිදුකරන සේවය, සිය කර්මාන්තයට විශාල මෙහෙයක් ඉටු කරන කිරි ගොවි මහතුන්ගෙන් ආරම්භ කිරීම තුලින්, පැල්වත්ත සමාගම සියල්ලන්ටම ආදර්ශයක් සපයනවා. මෙවැනි ආයතනයක සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් සේවය කිරීමට ලැබීම මට විශාල ගෞරවයක්.” ලසන්ත සිල්වා මහතා මෙසේ සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක පළපුරුද්දක් සහිත දර්ශන පෙරේරා මහතා වරලත් ගණකාධිකාරීවරයකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ද හිමිකරගෙන ඇත. ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස තෝරාපත් කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ගණකාධිකාරී සහ මූල්‍ය ප්‍රජාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දර්ශන මහතා තරුණ පිරිස් සඳහා ද සිය උපදේශකත්වය සපයා දී ඇත. සිය පත්වීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය. “කාර්යක්ෂම ව්‍යාපාර ක්‍රියාවලීන්ගෙන් යුතුව නිරන්තර නවෝත්පාදනයන්ට පෙළඹෙන මෙවැනි සංවිධානයක කොටස්කරුවෙක් වීමට ලැබීම මට මහත් ආඩම්බරයක් සහ සතුටක්. පැල්වත්ත සමාගමේ අනාගතය බොහොම දීප්තිමත්. මට හැකි උපරිමයෙන් සමාගමට සේවය කිරීමට මම බලාපොරොත්තු වෙනවා “

තවද බැංකු ක්ෂේත්‍රයේ ඉහලම නමක් හිමි වසර 30 කට වැඩි වෘත්තීය අත්දැකීම් සහිත තිලක් පියදිගම මහතා ව්‍යාපාර අවදානම් කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් තේරී පත්විය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති අතර එක්සත් රාජධානියේ ඉංජිනේරු කවුන්සිලයේ ද සාමාජිකයෙකි. තිලක් මහතා ද විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට තොරා පත් කර ඇත. ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටියේ ය “සන්නාමයක් වශයෙන් පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දක්වන සැලකිල්ල මම ඉතාම අගය කරනවා. ඔබ වෙත ලබාදෙන සෑම කිරි බින්දුවකම සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔවුන් දරන උත්සාහය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. එවන් ආයතනයකට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම දැනට ආයතනය අනුගමනය කරන භාවිතයන් දිගටම පවත්වාගෙන යාමටත් ඒවා වැඩිදියුණු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.”

දර්ශන සහ තිලක් යන මහත්වරුන් දෙදෙනාම, දීර්ඝ කාලීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම කීර්තිමත් මූල්‍ය අංශයේ ප්‍රවීණයෙකු වන හර්ෂල් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් විගණන කමිටුවට ද පත් කර තිබීම විශේෂත්වයකි. ඉහත නම් සඳහන් මහත්වරුන් කිරි කර්මාන්තය තුල පමණක් නොව, ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක පළපුරුද්ද සහිත ප්‍රවීණයන් වේ.  පැල්වත්ත සමාගමෙහි ඒකායන අපේක්ෂාව වන යම් දිනකදී රටට අවශ්‍ය සමස්ත ගෘහස්ත කිරි අවශ්‍යතාවය සපුරාලීමේ අභිප්‍රායට ලඟාවීමට මෙම විද්වත් මණ්ඩලය  මහඟු පිටිවහලක් වනු ඇත. ආරියසීල වික්‍රමනායක, අක්මාල් වික්‍රමනායක, ටොෂාන් වික්‍රමනායක සහ හර්ෂල් ගුණවර්ධන යන මහත්වරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *