DIMO ලංකාවේ ප්‍රථම සහ එකම අඟල් 8ක පරතරයෙන් ගොයම් පැළ පේලි සිටුවන සාර්ථකම යන්ත්‍රය ‘පැළ බට්ටා’ හඳුන්වා දෙයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය  කෘෂි  ව්‍යාපාරික අංශය වන DIMO Agribusinesses තුලින් අඟල් 8ක පරතරයෙන් පැළ පේලි සිටවන ලංකාවේ ප්‍රථම සහ එකම  ගොයම් පැළ සිටවිමේ  යන්ත්‍රය ‘පැළ බට්ටා මෙරට ගොවි ජනතාවට හඳුන්වා දෙන ලදියි. DIMO සමාගම නිරතුරුවම නවීන තාක්ෂණය, දේශීය කෘෂි කර්මාන්තය වෙත හඳුන්වා දෙමින් කෘෂි කර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීමට නිතරම කැප වන සමාගමකි.

දැනට මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිතව භාවිත වන ගොයම්  පැළ සිටුවීමේ යන්ත්‍ර මගින් පැළ සිටුවිය හැක්කේ, පැළ පේලි  අතර පරතරය අඟල් 11-12 ක්  වන පරිද්දෙනි. ඒ හා සැසඳීමේ දී, ‘පැළ බට්ටා’ යන්ත්‍රයේ ඇති විශේෂත්වය වන්නේ  පැළ පේලි  අතර අඟල් 8 ක පරතරයකින් හා  පැළ අතර පරතරය අඟල් 5 සිට 6 දක්වා (අවශ්‍යතාව පරිදි) වන පරිදි ගොයම් සිටුවිය හැකි වීමයි. මේ  නිසා  ක්ෂේත්‍රයේ සිටුවිය හැකි පැළ ප්‍රමාණය වැඩි වන අතර, නිසි පරතරය පවත්වා ගැනීම තුළින් ගොයම් පැළවල ඒකාකාරී වර්ධනය පවත්වා ගත හැකි නිසා  අස්වැන්න 20% – 30% කින් පමණ වැඩි කර ගත හැකි බව පර්‍යේෂණ මගින් තහවුරු කර ඇත.  වර්තමානයේ ගොයම් සිටුවීම සඳහා මිනිස් ශ්‍රමය යොදා ගැනීම  පිරිවැය අධික ක්‍රමවේදයක් වන අතර වී වැපිරිමේදී  ඒකාකාරී ලෙස පැළ  සිටුවීමක් සිදු නොවන නිසා ‘පැළ බට්ටා’ යන්ත්‍රය භාවිත කිරීම ආර්ථිකමය වශයෙන් ද ඉතා ඉහල ප්‍රතිලාභ ලබා දෙයි.  “පැළ බට්ටා” මගින් දිනකට අක්කර 3ත් 3.5 ත් අතර ක්ෂේත්‍රයක පැළ සිටුවීමේ හැකියාව නිසා වගා කටයුතුවල කාර්යක්ෂමතාවයද වැඩි කරයි. ඊට අමතරව මෙම යන්ත්‍රය මගින් ගොයම් පැළ සිටුවීමේදී  දී පැළ අතර නිසි පරතරය පවත්වා ගත හැකි නිසා වල් හා පළිබෝධ පාලනය පහසු වේ. එසේම මෙවර යල කන්නයේදී “පැළ බට්ටා” යන්ත්‍රය ආශ්‍රයෙන් අක්කර 100ක පමණ වගා බිම් ප්‍රමාණයක ගොයම් පැළ සිටුවීමට හැකි වීමද විශේෂත්වයකි.

4 Stroke එන්ජිමකින් සමන්විත ‘පැළ බට්ටා’ යන්ත්‍රයේ සරළ නිමාව හා බර අඩු වීම නිසා ඕනෑම ගොවි මහත්මයෙකුට හෝ මහත්මියකට එය ඉතා පහසුවෙන් හැසිරවිය හැකිය. එමෙන්ම මෙම යන්ත්‍රයේ නඩත්තු කටයුතු පහසු වීමත් සහ නඩත්තු වියදම අවම වීමත් ගොවිමහතුන්ට ලැබෙන තවත් සුවිශේෂී වරප්‍රසාදයකි.

බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ   ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහණ තිලකසිරි මහතා ද අදහස් පළ කළේ ය. “වෙළෙඳපොළේ පවතින අනිකුත් ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර මගින් අඟල් 12 ක පරතරයකින් යුතු ගොයම් පැළ සිටවිය හැකි අතර එම ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර ප්‍රධාන වශයෙන් චීනය, කොරියාව, ජපානය වැනි රටවල භාවිත කරනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව කෙටි කාලීන වී වර්ග භාවිතා කරන අතර ඒවා උසින් අඩු සහ සාමාන්‍යයෙන් මාස 3 කින් පමණ අස්වනු නෙලා ගන්න පුළුවන්.මේ නිසා ලංකාවේ ගොවීන්ට එවැනි යන්ත්‍ර භාවිත කිරීම යෝග්‍ය වන්නේ නෑ. ගොයම් පැළ පේළි අතර අඟල් 12 ක පරතරයක් සහිතව ගොයම් පැළ සිටුවීමේදී, මෙම විශාල පරතරය නිසා වල් පැලෑටි වර්ධනය කළමනාකරණය කිරීමේදී දුෂ්කරතා ඇති වෙනවා. විශේෂයෙන් අප දැනට වගා කරන වී වර්ග සලකා බැලීමේදී අඟල් 8ක පරතරයෙන් ගොයම් පැළ පේලි සිටුවන ‘පැළ බට්ටා’ යන්ත්‍රය   ශ්‍රී ලංකාවේ වී වගාවට යෝග්‍ය වෙනවා.”

DIMO සමාගමේ අධ්‍යක්ෂ එමෙන්ම සමාගම් සමූහයේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය භාරව කටයුතු කරන රජීව් පණ්ඩිතගේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “DIMO සමාගම මෙරට ගොවි ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට නිරන්තරයෙන් කැපවන ආයතනයක්. ඒ නිසා ම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීම හරහා මෙරට කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණය කරමින් එහි ඵලදායීතාව වැඩි කිරීම සඳහා අප සමාගම නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. මෙම නව ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය හඳුන්වා දීමේ අරමුණත් එයමයි. DIMO වගකීම සමඟ වෙළෙඳපොළට හඳුන්වා දී ඇති ‘පැළ බට්ටා’ යන්ත්‍රය, දශක 8ට වඩා වැඩි DIMO ඉංජිනේරු විශිෂ්ටත්වය සහ දිවයින පුරා විසිරුණු අලෙවියෙන් පසු සේවා ජාලය නිසා කෙටි කාලයක් තුළ මේ රටේ ගොවි මහතුන් අතර ප්‍රචලිත වන බව අපි විශ්වාස කරනවා.”

DIMO   සමාගම සිය කෘෂි ව්‍යාපාර අංශය වන DIMO Agribusinesses හරහා මෙරට කෘෂිකර්මාන්තය ආශ්‍රිත සියලුම ක්ෂේත්‍ර ආවරණය කරමින් රටේ කෘෂිකර්මාන්තයේ අනාගතය වෙනුවෙන් මනා දායකත්වයක් සපයයි.

Caption : ‘පැළ බට්ටා’ DIMO වෙතින්

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *