COVID-19 මෙරටින් තුරන් කිරීමේ සටනට ජෝන් කීල්ස් සමූහයේ සහය

0

ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි ඇති කැපවීම සහ ආයතනික වගකීම ඉටු කිරීමට, ජෝන් කීල්ස් සමූහය එහි ආයතනික සමාජ වගකීම් අංශය ඔස්සේ, ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී.  වසංගතයේ ව්‍යාප්තියත් සමග,  ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ආයතනය වන ජෝන් කීල්ස් සමූහයේ, සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමත්, ඊට අනුබද්ධ වෙනත් ව්‍යාපාරත්, විවිධ වූ සහන සේවාවන් රැසක් දියත් කිරීමට කටයුතු සැලැස්විණි. ඒවා අතරින් අත්‍යවශ්‍ය යටිතළ පහසුකම් වැඩිදියුණු කිරීම, ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසා දීම සහ COVID 19 නිසා අසරණභාවයට පත්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන මලු ලබා දීම ප්‍රධාන වශයෙන් සිදු කළ සේවාවන් වේ.

ජෝන් කීල්ස් පදනම, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (පුද්ගලික) සමාගම, මෙල්ස්ටාකොප් පී.එල්.සී සහ ඩොයිෂ් බෑන්ක් යන පුද්ගලික ව්‍යාපාර මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ සුභසාධක සංගමය විසින් ලබා දුන් අරමුදලින් බෝවන රෝග පිළිබඳ ජාතික රෝහලේ, අණුක රෝග විනිශ්චය සඳහා රසායනාගාරයක් ද ස්ථාපිත කරන ලදී. මෙහි මුලික අරමුණ වුයේ, වසංගත ව්‍යාප්තියත් සමග මෙරට රෝගීන් පරික්ෂා කිරීමේ ධාරිතාව වැඩි කිරීමයි. මේ සඳහා තාවකාලික රසායනාගාරයක් 2020 මාර්තු මස 29 වන දින ඉදි කෙරුණු අතරල,අප්‍රේල් 28 දින ස්ථිර රසායනාගාරයක් විවෘත කරන ලදී.

ඒ අතරම වෛද්‍ය වරුන් සහ රෝහල් කාර්යමණ්ඩල වල ආරක්ෂාව උදෙසාත්, ඔවුන් වෛරසයට නිරාවරණය වීම අවම කිරීම උදෙසාත් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකට ජෝන් කීල්ස් පදනම විසින් පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල සහ KN  95 මුඛ ආවරණ කට්ටල බෙදා හරින ලදී. බෝවන රෝග පිළිබඳ ජාතික රෝහල, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (එලිෆන්ට් හවුස්) සමාගම මගින් හෝමගම මූලික රෝහල, කුඩා තේ වතු හිමියන්ගේ කර්මාන්තශාලා පොදු සමාගම (TSFL) මගින් නෙළුව සහ හිනිඳුම මූලික රෝහල මෙම සත්කාරයෙන් ප්‍රතිලාභ ලද රෝහල් වේ.

කීල්ස් සුපිරි වෙළඳසැල් විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට සහ කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය නිලධාරීන්ට ද මෙම ආරක්ෂක ඇඳුම් කට්ටල පරිත්‍යාග කරන ලදී. TSFL මගින් නෙළුව සහ හිනිඳුම මහජන සෞඛ්‍ය නිලධාරීන්ට ද මෙම ආරක්ෂක ඇඳුම් කට්ටල බෙදා හැරීම සිදු කෙරුණි. එලිෆන්ට් හවුස් සහ කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම් පන්නල, ජා ඇල, අවිස්සාවේල්ල යන ප්‍රදේශ වල මහජන සෞඛ්‍ය නිලධාරීන් හා පොලිස් ස්ථාන වලට ද, සඳලංකාව, සීදූව, නවගමුව යන ප්‍රදේශ වල රෝහල් වලට ද, එම ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා දීම සිදු කෙරුණි. පෑලියගොඩ, මාබෝල, මහබාගේ, සේදවත්ත, සීදූව, එන්ඩේරමුල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල මහජන සෞඛ්‍ය නිලධාරීන්ට හට  පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල ලබාදීමට  ජෝන් කීල්ස් ලොජිසිටික්ස් කටයුතු කල අතර එලිෆන්ට් හවුස්, ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් සමඟ එකතුව කඩුවෙල මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට කාර්යාලීය කටයුතු සදහා ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා දෙන ලදී. තවද නෙළුව මූලික රෝහලත්, නෙළුව ප්‍රධාන මංසන්ධියත් අනෙකුත් පොදු ස්ථානත් විෂබීජ හරණය සඳහා TSFL  තම දායකත්වය දැක්වීය.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අඩු අදායම්ලාභී පවුල් විශාල වශයෙන් පිඩාවට පත් වීම නිසා ජෝන් කීල්ස් පදනම කීල්ස් සුපිරි වෙළඳසැල් සහ එළිෆන්ට් හවුස් සමාගම සමඟ එක්ව අත්‍යවශ්‍ය අහාර සහිත සහන මලු, කොළඹ ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශය මත කොම්පඤ්ඤවීදිය, තිඹිරිගස්යාය, මට්ටක්කුලිය සහ කොලොන්නාව ප්‍රදේශ වල පවුල් 10,000 කට බෙදා හැරීම සිදු කෙරුණි. මීට අමතරව, යූනියන් ඇෂුඅරන්ස් සමාගම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත්, අපදා කළමනාකරණය සඳහා වූ ඒෂියා පැසිෆික් අලයන්ස් ආයතනයේත් (A-PAD)  සහාය ඇතිව මට්ටක්කුලිය, කිරුළපන, තිඹිරිගස්යාය, කොළොන්නාව හා නාරහේන්පිට යන ප්‍රදේශ වල අඩු අදායම්ලාභී පවුල් 2000ක ටත්, රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ඇතිව මාතර, මහව, මාරවිල, හලාවත, කුරුණෑගල හා තණමල්විල යන ප්‍රදේශ වල අඩු අදායම්ලාභී පවුල් 649ක ටත් අත්‍යවශ්‍ය අහාර සහිත සහන මලු බෙදා හැරීම සිදු කෙරුණි. කීල්ස් සුපිරි වෙළඳසැල් සූරියවැව වෙසෙන තම දීර්ඝ කාලීන එළවළු සහ පළතුරු සැපයුම්කරුවන් හට ද,  සූරියවැව ප්‍රා.ලේ කාර්යාලය හරහා අත්‍යවශ්‍ය අහාර මලු 300ක් බෙදා හැරීමටද කටයුතු සැලැස්වූ බව කිව යුතුය.

ජෝන් කීල්ස් පදනම, කීල්ස් සුපිරි වෙළඳසැල්, සිනමන් ලේක්සයිඩ් සහ සිනමන් රෙඩ් යන හෝටල් ද බෝවන රෝග පිළිබඳ ජාතික රෝහල, හමුදා අංශ, විවිධ සමාජ සේවා සංවිධාන වෙනුවෙන් අත්‍යවශ්‍ය අහාර සහ සජලනය සඳහා අවශ්‍ය ආධාර ද සපයන ලදී. ජෝන් කීල්ස් සමූහයේ සේවක සේවිකාවන් උක්ත සමාජ සේවා කටයුතු වලදී ආධාර බෙදාහැරීමට තම නොමසුරු දායකත්වය ලබා දීම සහ විවිධ වූ පෞද්ගලික පරිත්‍යාග වලින් ද එම කටයුතු වලට සම්බන්ධ වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. සුපිරි වෙළඳසැල්, ගබඩා මෙහෙයුම්, හෝටල්, සංචාරක හා ප්‍රවාහන මෙහෙයුම් ඇතුළු ව්‍යාපාර කිහිපයක්  අත්‍යවශ්‍ය  ජාතික අවශ්‍යතා සපුරාලීම සඳහා කැඳවනු ලැබූ අතර, අන්තර්ජාල ඇණවුම් බෙදාහැරීම්, අඛණ්ඩ ආහාර හා අත්‍යවශ්‍ය නිෂ්පාදන සැපයුම, සංචාරකයින් නැවත ඔවුන්ගේ රටවල් කරා යැවීමට සහය සහ සහනාධාර සම්බන්ධීකරණය හා ප්‍රවාහනය  වැනි කටයුතු වලටද ඉමහත් දායකත්වයක් ලබා දුන් ජෝන් කීල්ස් සේවක සේවිකාවන් විශේෂයෙන් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

අපදා සහනය ජෝන් කීල්ස් පදනමේ ප්‍රධාන අංශය 6න් එකකි. ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන දැක්ම ඔස්සේ තම සමාජ බලගැන්වීමේ කටයුතු ඉටු කරන ජෝන් කීල්ස් සමූහය සෑමවිටම උත්සාහ කරනුයේ ලංකාවාසී, ලෝකවාසී සියල්ලන්ම විපත් හෝ ආපදාවලින් ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන්ගේ ජීවනෝපායන් නැවත ගොඩනඟා ගැනීමටත්ය. මෙලෙස, ජෝන් කීල්ස් සමූහය COVID -19 මෙරටින් තුරන් කිරීමට ගත යුතු කෙටි කාලින සහ දීර්ඝ කාලින වැඩ පිළිවෙල් ඉටු කිරීමට රජයේත්, රාජ්‍ය නොවන සංවිධාන වලත් සහය ඇතිව ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සතුටින් දන්වා සිටිමු.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *