DIMO සිය දායකත්වය LIFE නැවත වන වගා ව්‍යාපෘතියට ලබා දීම සාර්ථකව නිම කරයි

0

කන්නෙලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන නැවත වන වගා ව්‍යාපෘතියක් වන LIFE  ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ලබා දුන් දායකත්වය සාර්ථකව නිම කරයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන Biodiversity Sri Lanka (BSL) ආයතනයේ සහ පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයක එක් වීමෙන් දියත් වේ.

DIMO  2016 වසරේ දී කන්නෙලිය වන රක්ෂිතයේ විනාශ වූ හෙක්ටයාර 12ක වනාන්තර බිම් ප්‍රමාණයක් ප්‍රති වන වගා කිරීම සඳහා පෞද්ගලික අංශයේ සමාගම් 15ක දායකත්වය සහිත  LIFE ව්‍යාපෘතිය සමඟ එක් විය. මෙහි දී වසර ගණනාවක සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් සහ අධීක්ෂණය කිරීමෙන් පසු, නැවත වන වගා කාල සීමාව තුළ මෙරටට ආවේණික, දේශීය ප්‍රබේද 46කින් යුත් ශාක 18,000කට අධික සංඛ්‍යාවක් හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

මෙම නැවත වන වගා ව්‍යාපෘති ප්‍රදේශය සමනල විවිධත්වය අතින් ද කැපී පෙනෙන ප්‍රදේශයක් ලෙස හඳුන්වා දිය හැකි අතර  සමනල විශේෂ 22ක් මෙම ව්‍යාපෘති ප්‍රදේශය ආශ්‍රිතව හඳුනා ගෙන ඇත. මීට අමතර ව, මෙම ප්‍රදේශය තුළ මුලින් වාර්තා නො වූ නව සත්ත්ව විශේෂ කිහිපයක් ද පසුගිය කාල වකවානුව තුළ නිරීක්ෂණය වී ඇති අතර, මේ වන විට එම ප්‍රදේශය තුළ සත්ව විශේෂ 100ක් පමණ ජීවත් වන බව ද පර්‍යේෂණ තුළින් අනාවරණය වී තිබේ.  

LIFE  ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ ‘වනාන්තර සඳහා වන 2017 – 2030 උපාය මාර්ගික සැලසුමේ’ අරමුණු සහ ඉලක්ක ගණනාවක් සමඟ පෙළ ගැසී ඇති අතර, තිරසාර වන කළමනාකරණය තුළින් ලොව පුරා අහිමි වෙමින් පවතින වන ආවරණය නැවත වගා කිරීමේ අරමුණ සඳහා මෙම ව්‍යාපෘතිය මූලික අවධානය ලබා දී ඇත.  ‘හෙක්ටයාර 12ක භූමි ප්‍රමාණයක නැවත වන වගා  කිරීම හරහා මෙම ඉලක්කයට සෘජුව ම දායක වන LIFE’ ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව තුළ වඩාත් විවිධත්වයෙන් යුත් නිවර්තන සදාහරිත වනාන්තර පද්ධතියක තිරසාර කළමනාකරණය ප්‍රවර්ධනය කරයි.

LIFE ව්‍යාපෘතිය ලොව පුරා ආරක්ෂිත වනාන්තර ප්‍රදේශය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ තුන් වන පාරිසරික ඉලක්කය  සමඟ සමපාත වේ.  කන්නෙලිය වන අඩවිය මේ වන විටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිගු කාලීන කළමනාකරණ සැලසුම් යටතේ පවතී. එමෙන් ම තිරසාර වන කළමනාකරණය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ම නව හා අතිරේක මූල්‍ය සම්පත් ශක්තිමත් කිරීම සහ විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතා ව ඇතුළු හවුල්කාරිත්ව ශක්තිමත් කිරීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණු අතරට ඇතුළත් වේ.  LIFE ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සමාගම් 15ක  සහයෝගීතාවෙන් ක්‍රියාත්මක වන බැවින් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා පසුගිය වසර 5ක කාලය සඳහා සිදු කර ඇති ආයෝජනය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 කි.

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “. මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ 15 වන පාරිසරික තිරසාර සංවර්ධන ඉලක්කයට ද සමගාමී වන නිසා  පරිසර පද්ධතිවල තිරසාර භාවිතය ආරක්ෂා කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වැනි අවශ්‍යතාවල වැදගත්කම ඉස්මතු කරනවා.  අපගේ සියලු ම පාර්ශ්වකරුවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාගමක් විදියට DIMO නිරන්තරයෙන්  අපගේ ස්වාභාවික පරිසරය සංරක්ෂණය  කිරීම වෙනුවෙන් කැප වෙනවා.” යනුවෙනි.

සමස්තයක් වශයෙන් ගත් කල, අති සාර්ථක ව්‍යාපෘතියක් වන ‘LIFE’ නැවත වන වගා වැඩසටහන සඳහා සිය උපරිම දායකත්වය ලබා දී ඇති DIMO, වගකීමෙන් කටයුතු කරන  ආයතනික පුරවැසියෙකු ලෙස ඉදිරියේ දී ද තිරසාරත්වය වෙනුවෙන් වන වැඩසටහන් සඳහා  සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව අවධාරණය කරයි.

ඡායාරූපය:

LIFE  ව්‍යාපෘතිය මගින් නැවත වන වගා කිරීම තුලින් ප්‍රදේශයේ ජෛව විවිධත්වය වැඩි දියුණු වී ඇති ආකාරය

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *