DIMO වෘත්තීය පුහුණු උපකරණ නිෂ්පාදනයට පිවිසෙයි

0

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන ‘DIMO Academy for Technical Skills (DATS)’ හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත.
මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ පිහිටා ඇති ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙනුවෙන් DATS ආයතනය විසින් පසුගිය දා සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කෙරිණි. එහි දී මෝටර් රථ ආශ්‍රිත පාඨමාලා සඳහා Hybrid හා CVT ඇතුළු ගියර් පද්ධතිය ආශ්‍රිත පුළුල් පරාසයක් ආවරණය කරන නව පුහුණු උපකරණ හඳුන්වා දීම සිදු කෙරිණි. DATS විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකාරී මෝටර් රථවල විවිධ වාතාවරණයන් පාලනය කිරීමේ හා ඉන්ධන ඇතුළත් කිරීමේ සිමියුලේටර් සහ Wheel Alignment සඳහා විශේෂ සිමියුලේටර් ද සපයන ලද අතර, තාක්ෂණික දත්ත, පරිශීලක අත්පොත් හා මෙහෙයුම් පුහුණුව ලබා දීම ද DATS ආයතනය මගින් ම සිදු කිරීම විශේෂිතය.
එමෙන් ම DATS මගින් මෝටර් රථ තාක්ෂණ පුහුණු පාඨමාලාවලට අමතරව, ගොඩනැගිලි කළමනාකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණු උපකරණ සැපයීම ද සිදු කරයි.
මෙරට භාවිතා කරන බොහෝ පුහුණු ආකෘති හා සිමියුලේටර් යුරෝපීය නිෂ්පාදන වන අතර, එම නිෂ්පාදන මිල අධික වීම නිසා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ඒවා යොදා ගැනුණේ ඉතා අවම වශයෙනි. එමෙන් ම ඒ සඳහා මිල අඩු විකල්ප නිෂ්පාදන වෙළෙඳපොළ තුළ තිබුණ ද, ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් පිළිබඳ ගැටලු මතු වේ. මෙම ක්ෂේත්‍රය තුළ DATS ආයතනය සතු විශේෂඥතාව හා නවීන තාක්ෂණය නිසා ම ඉහත ගැටලු නිරාකරණය කරමින් දේශීය පුහුණු ආයතනවල අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පුහුණු විසඳුම් ලබා දීමට DIMO සමත් වී ඇත.
පසුගිය වසර 30 තුළ DATS, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවතම වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීමට සමත් වී ඇත. එමෙන් ම DATS නිරන්තරයෙන් ජර්මානු තාක්ෂණයට අනුකූල, ප්‍රමිතියෙන් උසස් වෘත්තීය පුහුණු පාඨමාලා ලබා දීම වෙනුවෙන් කැප වී සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “රටේ ආර්ථික සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක්. එය DIMO හි තිරසාර න්‍යාය පත්‍රයේ කොටසක් වගේ ම මේ රටේ ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම වෙනුවෙන් අප ගන්නා උත්සාහයේ වැදගත් කොටසක්. මෙම ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”
මෙරට තාරුණ්‍යයේ උන්නතිය උදෙසා දිගුකාලීන දැක්මක් සමඟින් ක්‍රියාත්මක වන DATS, මෙරට වෘත්තීය අධ්‍යාපනය පුහුණු ආයතන, විශ්ව විද්‍යාල හා පාසල් පද්ධතිය වෙත උසස් තත්ත්වයෙන් යුත්, පුහුණු අවම මිලට සපයන්නෙකු ලෙස සිය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරයි.
DATS ආයතනය විසින් සිය වෘත්තීය අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වසර ගණනාවක් පුරා, පුළුල් ක්ෂේත්‍රයන් ආවරණය කරමින්, විවිධ පුහුණු වැඩසටහන් රැසක් දියත් කරයි. පුහුණුකරුවන් හා උපදේශකයින් පුහුණු කිරීම සඳහා DATS ආයතනය විසින් ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙත දෙවන වරටත් සත්කාරකත්වය ලබා දෙනු ලැබූ අතර, මොරටුවේ පිහිටා ඇති ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය (CGTTI) වෙනුවෙන් ද ප්‍රථම වරට වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලදී.
මෙම පුහුණු වැඩසටහන් මගින් නව ඉගැන්වීමේ ශිල්ප ක්‍රම හා නවතම මෝටර් රථ තාක්‍ෂණික ක්‍රමවේදයන් පිළිබඳව උපදේශකයින් වෙත යාවත්කාලීන දැනුම ලබා දෙනු ලැබිණි. එමෙන් ම මෙම වැඩසටහන් මගින් වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව, ඩීසල් එන්ජින් කළමනාකරණය, පෙට්‍රල් එන්ජින් කළමනාකරණය, ස්වයංක්‍රීය සම්ප්‍රේෂණය, අත්හිටුවීමේ පද්ධති සහ වායු සමීකරණ පද්ධති ආදී වශයෙන් පුළුල් තාක්ෂණික ක්ෂේත්‍රයන් ද ආවරණය කෙරිණි. DIMO හි සෞඛ්‍ය හා ආරක්‍ෂක නිලධාරියාගේ සහභාගිත්වය හා සහයෝගය සමගින් කොළඹ හා යාපනයේ පිහිටි DATS ආයතනවල සේවා සපයන පුහුණු උපදේශකවරුන් විසින් මෙම පුහුණු සැසි පවත්වන ලදී. එමෙන් ම දේශීය සිසුන්ගේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම මෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කිරීම අරමුණු කරමින් සිය විෂය නිර්දේශයන් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට ද DATS කටයුතු කරයි.
වර්තමානය වන විට දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මෙන්ම විදේශ ප්‍රේෂණ ලබා ගැනීම සඳහා නිපුණ ශ්‍රම බලකායක් ගොඩනැංවීමේ අවශ්‍යතාව ද දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර DATS මේ සඳහා අත්වැලක් වීමට කැප වී සිටියි.
දැනට කොළඹ සහ යාපනය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත DATS, මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ගෝලීය ප්‍රමිතියෙන් යුත් වෘත්තීය පුහුණුවක් ලබා දීමේ අරමුණින් Daimler AG Germany සමාගම සමග සහයෝගිත්වයන් 1990 වසරේ දී ස්ථාපිත කරන ලදී. 2018 වසරේ දී DATS ආයතනය, ශ්‍රී ලංකාව තුළ ජර්මානු වෘත්තීය සුදුසුකම් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම සමඟ එක් විය. ඊට අමතරව DATS ආයතනය විසින් වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ ද පාඨමාලා දියත් කරමින් සිය සේවා පරාසය පුළුල් කිරීමට කටයුතු කරයි. DATS ආයතනය විසින් පරිනමන PESHA පුහුණු වැඩසටහන ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (IHK) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK ශ්‍රී ලංකා) මගින් A කාණ්ඩයේ විදේශයන්හි ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස අනුමත කර ඇත.

ඡායාරූප:

DIMO, GIZ, SLGTI සහ CGTTI යන ආයතනවල නියෝජිතයින් පුහුණු උපකරණ පිරිණැමීමේ උත්සවයේ දී.

රටේ ආර්ථික දියුණුවට වෘත්තීය අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ.
Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *