ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 10 දෙනෙකු Huawei Tech4Good ව්‍යාපෘතියේ ජයග්‍රහණ හිමිකර ගනී

0

Huawei විසින් වාර්ෂිකව සංවිධානය කරන Huawei Seeds for the Future වැඩසටහනේ තවත් සුවිශේෂී අංගයක් වන Tech4Good තරඟකාරී ව්‍යාපෘතියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට, දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සහභාගී වූ ශිෂ්‍යයන් 10 දෙනෙකු සමත් වී ඇත. සිංගප්පුරුව සහ බෘනෙයි රාජ්‍යයන්හි විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින්ද මේ සඳහා සහභාගී වී ඇති අතර, මෙහි ජයග්‍රහණය හිමිකර ගත් ශිෂ්‍යයින් හට 2022 ජනවාරි මස පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර Tech4Good තරඟාවලියට සහභාගී වීමට අවස්ථාව හිමිවේ.

Tech4Good ව්‍යාපෘතිය මඟින් ගෝලීය වශයෙන් බලපාන සමාජීය හෝ ආර්ථික ගැටලු විසඳීම සඳහා තාක්‍ෂණය උපයෝගී කර ගන්නා විසඳුම් නිර්මාණය කිරීමට කණ්ඩායම් වශයෙන් සිසුන්ට අවස්ථාව හිමි වූ අතර, සෑම කණ්ඩායමක්ම ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා උපදේශකයින් සමඟ කටයුතු කළහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය සහ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් නියෝජනය කල තරුණ දක්ෂයින් 10 දෙනෙකු ඇතුළත් ‘Futurecasters’ කණ්ඩායම  මෙම වැඩසටහෙනේ ජයග්‍රාහකයින් බවට පත්විය. තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT), පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සහ ජාලකරණය යන ක්ෂේත්‍රවල වෘත්තීන් හදාරන විවිධ විශ්වවිද්‍යාල 6ක සිසුන් 18 දෙනෙකු Huawei Seeds for the Future 2021 ICT වැඩසටහන සාර්ථකව නිම කර උපාධි ලබා ඇත.

Tech4Good Group ව්‍යාපෘතිය Huawei හි ගෝලීය CSR වැඩසටහන් මාලාවේ කොටසක් වන අතර, මේ හරහා  ලොව වඩාත්ම දැවෙන සමාජ, සෞඛ්‍ය සහ පාරිසරික ගැටළු විසඳීමට තාක්‍ෂණය භාවිතා කරන්නේ කෙසේදැයි පරීක්ෂා කිරීමට ශිෂ්‍ය සහභාගීවන්නන්ට අවස්ථාව ලබා දෙයි. මෙහිදී ශිෂ්‍යයන් හට ඔවුන්ගේ  සමාජ ව්‍යවසායකත්ව හැකියාවන්, ගැටළු විසඳීමේ හැකියාවන්  සහ නායකත්ව කුසලතා සංවර්ධනය කරගත හැකි ආකාරයන් පිළිබඳවද මනා අවබෝධයක් ලබාදෙයි. 

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී සිසුන් කණ්ඩායම – ‘Futurecasters’ විසින් වර්තමාන නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ශ්‍රම බලකාය ගෝලීය වශයෙන් මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටළු සඳහා තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කළේය. පරිගණක ඉදිරිපිට දිගු වේලාවක් වාඩි වී සිටින විට සුදුසු වාඩි වී සිටින ඉරියව්ව පවත්වා ගෙන යාමේ අභියෝගයට මුහුණ දීම සඳහා ඔවුන් මෙලෙස විසඳුම් ඉදිරිපත් කර ඇත.

Huawei Seeds for the Future 2021 වැඩසටහන හරහා දේශීය සිසුන් හට ඔවුන්ගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කරගැනීමට විශාල අවකාශයක් හිමිවන අතරම, මේ තුළින් ශ්‍රී ලංකාව වෙත ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී විශාල සහයෝගයක් හිමිවනු ඇත. මෙවර වැඩසටහනේ සුවිශේෂීත්වය නම්, විශ්ව විද්‍යාල 06ක් නියෝජනය කරමින්, අති දක්ෂ සිසුන් 18 දෙනෙකු සඳහා ඔන්ලයින් ක්‍රමයට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ පුහුණු, වැඩසටහන් ලබාගැනීමට අවස්ථාව හිමි වීමත්, චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වීමත්ය. තවද, Huawei හි නවතම තාක්ෂණයන් පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කිරීමටත්, තොරතුරු තාක්ෂණ දැනුම හුවමාරු කර ගනිමින් වඩාත් ඩිජිටල්කරණය වූ ලොවක් නිර්මාණය කිරීමටත් මෙම වැඩසටහන හරහා මාර්ගෝපදේශනය හිමිවේ. තවද, Huawei Seeds for the Future  වැඩසටහන හරහා 5G තාක්ෂණය , LTE සහ ක්ලවුඩ් පරිගණකකරණය ආදී නවීනතම තාක්ෂණයන් සහ AI තාක්ෂණය වැනි දෑ පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කිරීමට අවස්ථාව හිමිවේ.

Huawei Seeds for the Future උපාධි ප්‍රදානෝත්සවය, 2021 දෙසැම්බර් 13 දින සිදු වූ අතර, ඒ සඳහා චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු Huawei ආයතනයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඔන්ලයින් ක්‍රමවේදකයට පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මෙලෙස පවසා සිටියි.  “ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය උදෙසා ඩිජිටල්කරණය ඉතා වැදගත් සාධකයක් වන අතර, එහිදී ශ්‍රී ලංකාව තුල ඩිජිටල් තාක්ෂණික කුසලතා සංවර්ධනය කිරීම සඳහා Huawei වැනි සමාගම් සිදු කරන ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා. තවද, අපේ රටේ තාක්ෂණික කුසලතා සංවර්ධනය තුළින් ආර්ථික සංවර්ධනය ඇති කිරීම උදෙසා Huawei සමාගම ගන්නා මෙම උත්සාහයන් අප අගය කර සිටිනවා. අද දින මෙම වැඩසටහන සාර්ථකව නිමකළ සිසුන් සඳහා මම සුභ පැතුම් එක් කර සිටිනවා.”

“මුලින්ම මම කැමති උපාධි ලබාගත් මෙම දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත මාගේ සුභ පැතුම් එක් කරන්න. ඔබ සියලු දෙනාම අපේ ආර්ථිකයට විශාල සම්පතක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනය යනු අභියෝගාත්මක කාලවලදී සහ අවශ්‍යතා ඇති අවස්ථාවලදී ඔබේ අනාගතය සුරක්ෂිත කිරීමට දැනුම නමැති බල මෙවලම සමඟින් ඔබව විශිෂ්ටත්වයට පත් කරන වඩාත් දිදුලන ආභරණයයි. තරුණ ඔබ සැමට, එය වඩා හොඳ ජීවිතයක් සඳහා වන දොරටුවේ යතුර වනු ඇති බව මම මතක් කරනවා.  තවද අපගේ තරුණ තරුණියන් කුසලතා තුලින් අඛණ්ඩව පෝෂණය කිරීමේ මාර්ගයක් ලෙස Huawei සමඟ තවත් උපාය මාර්ගික සහයෝගීතාවයන් සඳහා ඉදිරියේදී අප යොමුවීමට අපේක්ෂා කරනවා.”  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය අදහස් ප්‍රකාශ කර සිටියි.

Huawei Enterprise Business Group හි ඉන්දික ද සොයිසා මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, “ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය 2024 වන විට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර ඇති ඉහළම අපනයන කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, දැනට ශ්‍රී ලංකාවේ මෘදුකාංග සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අපනයන වාර්ෂිකව ඩොලර් බිලියන 1.3 – ඩොලර් බිලියන 1.5 දක්වා උපයන බවත්ය. මෙහිදී කර්මාන්තය තුළ තිබෙන අවස්ථා පිළිබඳ ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියි. Huawei හි අප ශ්‍රී ලංකාවේ තරුණ කුසලතා ඉහළ නැංවීමට කැපවී සිටින අතර, මෑත වසර දෙකක කාලය තුළ අප අධ්‍යාපන අමාත්‍යාංශය සහ රාජ්‍ය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය වැනි පාර්ශවකරුවන් සමඟ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරා. Huawei Seeds for the Future වැඩසටහන සාර්ථකව නිමකර ගැනීමට අප හට සහයෝගය ලබාදුන් සියලුම පර්ශවකරුන්ට ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”

මේ වසරේ සිසුන් 18 දෙනෙකු සමඟින් මේ දක්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයින් 74 දෙනෙකු Seeds for the Future වැඩසටහන සඳහා සහභාගී වී ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ හයවන වර්ෂය මෙයයි.  

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *