සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එමිරේට්ස් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තම උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කරයි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට තවදුරටත් සහාය ලබාදීමේ අරමුණින්, එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සිය උපායමාර්ගික හවුල්කාරීත්වය අලුත් කර තිබේ. ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස්, මහාද්වීප හයකට විහිදුණු ගමනාන්ත 140කට ආසන්න සිය පුළුල් ගුවන් ගමන් ජාලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවර්ධනය කිරීම සහ දිවයිනට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට අඛණ්ඩව සහාය වනු ඇත.
පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුමක් (MoU) හරහා මෙම හවුල්කාරීත්වය විධිමත් කර ඇති අතර, 2022 වසරේදී ආරම්භ කළ මෙම සහයෝගීතාවය හරහා මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම මෙහි අරමුණයි.
2025 වසරේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංචාරකයන් මිලියන 2.3කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ මිලියන 2කට ආසන්න සංචාරක පැමිණීම් සංඛ්‍යාවට සාපේක්ෂව 15.1%ක සැලකිය යුතු වාර්ෂික වර්ධනයකි.
2026 අරාබි සංචාරක වෙළඳපොළ (ATM) ප්‍රදර්ශනය අතරතුරදී මෙම අවබෝධතා ගිවිසුමට එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වාණිජ මෙහෙයුම් – බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය එසා සුලෙයිමාන් අහමඩ් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ චමිල ජයරත්න අත්සන් තැබූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අරුෂා කුරේ, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ – අලෙවිකරණ මධුෂා පෙරේරා ඇතුළු දෙපාර්ශ්වයේ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අලුත් කළ මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ SLTPB අතර පවතින සාර්ථක හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් වන අතර, එමිරේට්ස් ගුවන් ගමන් ජාලයේ ප්‍රධාන වෙළෙඳපොළ වල ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාවය තවදුරටත් පුළුල් කෙරේ.
එමිරේට්ස් හි පුළුල් ගුවන් ගමන් ජාලයෙහි රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට ප්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් ලෙස සැලකේ.
දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ප්‍රධාන සංචාරක වෙළෙඳපොළ වෙත හඳුන්වාදීම සඳහා දෙපාර්ශවය අලෙවිකරණ වැඩසටහන්, විශේෂිත සංචාරක වැඩසටහන්, දිරිගැන්වීම් සහ හුරුපුරුදු කිරීමේ සංචාර ඇතුළු ඒකාබද්ධ වැඩසටහන් රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. එමෙන්ම, සිය වෙළෙඳ හවුල්කරුවන් සහ සංචාරක ක්‍රියාකරුවන් සමඟ ඇති සම්බන්ධතා උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාවට පැමිණීමට පාරිභෝගිකයන් දිරිගන්වන විශේෂ දිරිගැන්වීම්, සංචාරක පැකේජ සහ අනෙකුත් අලෙවිකරණ මෙවලම් ද එමිරේට්ස් සහ SLTPB විසින් ලබා දෙයි.
එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වාණිජ මෙහෙයුම් – බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය එසා සුලෙයිමාන් අහමඩ් මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව අපගේ ගුවන් ගමන් ජාලයේ දීර්ඝතම කාලයක් පුරා පවතින ගමනාන්ත අතරින් එකක් වන අතර, වසර 40කට අධික කාලයක් පුරා අපි ශ්‍රී ලංකාවට ගුවන් සේවා සපයමින් සිටිමු. ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් සාර්ථකත්වයට පත් කිරීම සඳහා එරට සංචාරක බලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. රටේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට දායක වීම සඳහා අපි අඛණ්ඩව සැලකිය යුතු ප්‍රයත්නයක් දරමින් සිටිමු.”
“ශ්‍රී ලංකාව අපට උපායමාර්ගික වශයෙන් වැදගත් වෙළෙඳපොළක් වන බැවින්, පසුගිය වසරේදී අපගේ නවතම එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නෙමු. එහි වැදගත්කම තවදුරටත් අවධාරණය කරමින්, අගෝස්තු මාසයේ සිට ඩුබායි – කොළඹ මාර්ගයේ දෛනික දෙවන A350 ගුවන් ගමනක් ද ආරම්භ කළෙමු. ප්‍රිමියම් ඉකොනොමි මැදිරි ඇතුළත් අපගේ නවතම පරම්පරාවේ ගුවන් යානා හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන මගීන් සඳහා වැඩි සුවපහසුවක්, තේරීම් සහ සම්බන්ධතාවක් ලබාදීමට අපගේ කැපවීම මෙයින් තවදුරටත් තහවුරු වේ.”
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා මෙසේ පැවසීය: “මැදපෙරදිග කලාපය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සඳහා වැදගත් සහ උපායමාර්ගික වශයෙන් සැලකිය යුතු සංචාරක වෙළෙඳපොළක් වන අතර, එය තවදුරටත් වර්ධනය සඳහා විශාල හැකියාවක් පවතී. එමිරේට්ස් සමඟ අපගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට හැකිවීම පිළිබඳව අප සතුටු වන අතර, මැදපෙරදිග කලාපයේ සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සහ දෘශ්‍යතාව ඉහළ නැංවීමට මෙන්ම සහයෝගීතාවය ශක්තිමත් කිරීමට මෙය වැදගත් පියවරක් වනු ඇත. මැදපෙරදිග සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව වඩාත් ප්‍රියතම සහ තරගකාරී සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අපගේ ප්‍රයත්නයන් සඳහා මෙම හවුල්කාරීත්වය තවදුරටත් සහාය වනු ඇත.”
“ශ්‍රී ලංකාවේ විවිධාකාර සංචාරක අත්දැකීම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත්, මැදපෙරදිග කලාපයෙන් වැඩි සංචාරකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමටත් එමිරේට්ස් සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු. වඩාත් ශක්තිමත් ගුවන් සම්බන්ධතා සහ ඒකාබද්ධ ගමනාන්ත ප්‍රවර්ධන වැඩසටහන් හරහා මෙම හවුල්කාරීත්වය සංචාරක කර්මාන්තයේ තිරසාර වර්ධනයට දායක වනු ඇතැයි අප විශ්වාස කරමු. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සුවිශේෂී අත්දැකීම්, ස්වාභාවික සුන්දරත්වය, සංස්කෘතිය සහ ලොව පුරා ප්‍රසිද්ධ ආගන්තුක සත්කාරය අත්විඳීමට වැඩි මැදපෙරදිග සංචාරකයන් පිරිසක් දිරිගැන්වීමට ද මෙය ඉවහල් වනු ඇත.”
එමිරේට්ස් විසින් කොළඹ – ඩුබායි මාර්ගයේ දෛනික ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන අතර, විවිධ වේලාවන් යටතේ ගුවන් ගමන් පහසුකම් සපයයි. මීට අමතරව, මාලදිවයින හරහා දිනපතා එක් ගුවන් ගමනක් ද ක්‍රියාත්මක වේ. මෙම සේවාවන් එයාර් බස් A350 සහ බොයිං 777 ගුවන් යානා මිශ්‍රණයකින් ක්‍රියාත්මක කෙරේ.
ප්‍රිමියම් ඉකොනොමි පහසුකම සහිත A350 ගුවන් යානා මගින් ක්‍රියාත්මක වන EK648/649 සහ EK654/655 ගුවන් ගමන්වලට අමතරව, එමිරේට්ස් විසින් B777 ගුවන් යානයක් මගින් EK650/651 සහ EK652/653 යන ගුවන් ගමන් ද ක්‍රියාත්මක කරයි.
එමිරේට්ස් ගුවන් සමාගම 1986 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළ අතර, එතැන් සිට මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා ශ්‍රී ලංකාවේ සංචාරක සහ අපනයන කර්මාන්තවල වර්ධනයට අඛණ්ඩව සහාය ලබාදී තිබේ.
සේයාරු සටහන: එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර උපායමාර්ගික හවුල්කාරීත්වය අලුත් කිරීම.
අද දෙරණ