2027 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

0
MediaFile_20261029_071626_383

2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණය සහ ප්‍රමුඛතා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා (22) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර , ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී 2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රාජ්‍ය වියදම්, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන, රාජ්‍ය ආදායම් ඉලක්ක සහ ණය සේවාකරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් විය. එමෙන්ම අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී අදාළ කරගන්නා සාර්ව ආර්ථික පුරෝකථන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ නීතිමය රාමුව පිළිබඳව ද අවධානය යොමු විය.

2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ත ප්‍රාග්ධන අතර, මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම, විදුලිබල පද්ධතියේ ව්‍යාප්තිය සහ නාගරික සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති ද පවතින අතර එ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී කරුණු විමසනු  ලැබීය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැලසීම, ණය ඇපකර ක්‍රමවේදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් වුණු  අතර  රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ රාජ්‍ය සේවා අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන වියදම් පිළිබඳව ද  කාරක සභාවේ අවධානය යොමු විය.

තවද, 2027 වසරේ විදේශීය ණය සේවාකරණ අවශ්‍යතා, අපේක්ෂිත විදේශීය මූල්‍ය පහසුකම් සහ රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ද අමාත්‍යාංශ නිලධාරීන් කරුණු පැහැදිලි කළහ. රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම, බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ අයවැය ප්‍රතිපාදන නිසි පරිදි භාවිත කිරීම සම්බන්ධ කරුණු ද සාකච්ඡාවට ලක් විය.

අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed