දකුණු ආසියානු නවෝත්පාදනය බලගැන්වීම සඳහා First Capital Startup Nation by Hatch ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දක්වා අරමුදල් අවස්ථා සහ කලාපීය ව්‍යාප්තියක් සමඟින් නැවතත් ඇරඹෙයි
සිය ප්‍රථම වැඩසටහනේ සාර්ථකත්වයෙන් පසුව, First Capital Startup Nation හි 2026 වැඩසටහන ආරම්භ කිරීම සඳහා Hatch සහ First Capital Holdings PLC සමාගම නැවතත් අත්වැල් බැඳගෙන තිබේ. Hatch යනු ශ්‍රී ලංකාවේ විශාලතම ආරම්භක ව්‍යාපාර පරිසර පද්ධති ක්‍රියාකාරීයා වන අතර, First Capital Holdings PLC යනු ජනශක්ති සමූහයේ (JXG) සාමාජිකයෙකු මෙන්ම මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. මෙවර වඩාත් පුළුල් කලාපීය මුහුණුවරකින් පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් ව්‍යවසායකත්වය දියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමටත් මෙම ආයතන දෙක අතර ඇති දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් කටයුතු කෙරේ.
අඛණ්ඩව දෙවන වසරටත් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය නංවාලීම වෙනුවෙන් උපරිමයෙන් කැපවන අතරම, First Capital Startup Nation by Hatch හරහා දකුණු ආසියාව පුරා සිටින ආරම්භක ව්‍යාපාර, ආයෝජකයින්, උපදේශකයින්, පරිසර පද්ධති නිර්මාතෘවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එකම වේදිකාවකට රැගෙන එයි. එමඟින් කලාපීය සහයෝගීතාව, දැනුම හුවමාරු කර ගැනීම සහ ව්‍යාපාරික වර්ධනය සඳහා ශක්තිමත් මඟක් විවර වේ.
කලාපීය වශයෙන් පුළුල් කරන ලද මෙම වැඩසටහන සඳහා දැනටමත් විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලින් අයදුම්පත් 250කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ලැබී තිබේ. ඉන්දියාවේ Founder Startup House (පෙර Draper Startup House ලෙස හැඳින්වූ), නේපාලයේ Pool Technologies සහ බංග්ලාදේශයේ Turtle Venture වැනි කලාපීය පරිසර පද්ධති හවුල්කරුවන් මෙයට දායක වීම තුළින්, මෙම වැඩසටහන සතු කලාපීය වැදගත්කම මැනවින් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රධානතම ක්‍රියාකාරියෙකු වන First Capital සමාගම, සාම්ප්‍රදායික මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් මෙරට ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. ප්‍රාග්ධන වෙළෙඳපොළ, ආයෝජන උපදේශනය සහ අරමුදල් රැස්කිරීම පිළිබඳ තමන් සතු සුවිශේෂී හැකියාවන් හරහා, ආරම්භක ව්‍යාපාර සඳහා අවශ්‍ය උපායමාර්ගික මඟපෙන්වීම, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ ව්‍යාපාර තිරසාර ලෙස ඉදිරියටම රැගෙන යාමට අවශ්‍ය වර්ධන ප්‍රාග්ධනය ලබා දීම සමාගමේ ප්‍රධාන අරමුණයි.
වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින්, First Capital සහ Hatch ආයතනවල නියෝජිතයින් පවසා සිටියේ මෙම අඛණ්ඩ හවුල්කාරිත්වය මඟින් තමන් සතු පොදු දිගුකාලීන දැක්මක් පිළිබිඹු වන බවයි. එනම් ව්‍යවසායකයින්ට අලුත් අදහස් ඔස්සේ ඉදිරියට යාමට, වටිනා අවස්ථා ලබාගැනීමට සහ කලාපීය මට්ටමින් සාර්ථකව තරඟ කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමයි. First Capital ආයෝජන විශේෂඥතාවය Hatch සතු පළපුරුද්ද සමඟ ඒකාබද්ධ කිරීමෙන් ව්‍යවසායකයින් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනයට දායක වීමටත් මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.
කලාපීය වශයෙන් පුළුල් වීම මඟින් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරවලට වෙනත් රටවල ව්‍යවසායකයින්, උපදේශකයින්, ආයෝජකයින් සහ ප්‍රවීණයන් රැසක් සමඟ සබඳතා පැවැත්වීමට අවස්ථාව ලැබෙන බැවින්, වැඩසටහනේ සමස්ත ගුණාත්මකභාවය සහ තරඟකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමඟින් රටවල් අතර හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට, දැනුම බෙදා ගැනීමට සහ සහභාගී වන ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට වැඩි අවස්ථා උදා වන අතරම, Hatch ආයතනයේ ‘Innovation District’ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට රැගෙන යාමට ද සහය ලැබෙනු ඇත. First Capital Startup Nation by Hatch වැඩසටහන හරහා, ආරම්භක ව්‍යාපාරවලට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දක්වා වූ අරමුදල් ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික පරිසර පද්ධති නිර්මාතෘවරයා වන Hatch ආයතනය, ව්‍යවසායකයින්ට උපදේශන සේවා, උපායමාර්ගික සබඳතා, දැනුම සහ ජාත්‍යන්තර ජාලයන් වෙත ප්‍රවේශය ලබා දෙමින් නව අදහස් දියුණු කිරීමට අඛණ්ඩව පෙරමුණ ගෙන කටයුතු කර ඇත. First Capital Startup Nation by Hatch වැඩසටහන මඟින්, නවෝත්පාදනයන් දිරිමත් කරන ප්‍රධාන බලවේගයක් ලෙස තම කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට Hatch කටයුතු කරයි. මෙමඟින් ව්‍යාපාරවල මුල් අවදියේ පසුවන නිර්මාතෘවරුන්ට ඔවුන්ගේ සාර්ථක ව්‍යාපාරික අදහස්, කලාපීය සහ ගෝලීය විභවයක් සහිත මහා පරිමාණ ව්‍යාපාර බවට පරිවර්තනය කර ගැනීමට මහඟු සහයක් හිමිවේ.
ව්‍යවසායකයින්ට සාර්ථක වීමට අවශ්‍ය විශේෂඥ දැනුම, සබඳතා ජාලයන් සහ ප්‍රාග්ධනය පහසුවෙන් ලබාගත හැකි ශක්තිමත් නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ ආයතන දෙකෙහිම පොදු අභිලාෂය මෙම වැඩසටහන මඟින් මැනවින් පිළිබිඹු වේ. තනි තනි ආරම්භක ව්‍යාපාරවලට සහය දීමට අමතරව, දකුණු ආසියාවේ වේගයෙන්ම වෙනස් වන නවෝත්පාදන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉහළ තරඟකාරීත්වයක් සහිත රටක් ලෙස ස්ථාපිත කිරීමට උපකාරී වන සහයෝගයෙන් කටයුතු කළ හැකි වටපිටාවක් රට තුළ ඇති කිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි.
මෙලෙස කලාපීය වශයෙන් පුළුල් වීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ, First Capital Startup Nation by Hatch 2026 වැඩසටහන යනු ව්‍යවසායකයින් බලගැන්වීම, නව ආයෝජන අවස්ථා උදා කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට දායක වන තිරසාර නවෝත්පාදනයන් ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් තැබූ තවත් සාර්ථක ඉදිරි පියවරකි.
අවසන්