2027 අයවැය ආර්ථික පරිවර්තනය අරමුණු කරගත් අයවැයක්; යෝජනා නිසිකලට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් – ලංකා වාණිජ මණ්ඩලය
2027 අයවැය, ප්‍රතිපත්ති අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වා ගනිමින් ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ශක්තිමත් කරන බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. ආර්ථික ස්ථාවරත්වයේ සිට වඩාත් කල් පවතින, ආයෝජන ප්රමුඛ වර්ධන මාවතකට රට ගමන් කිරීමට උත්සාහ කරන බැවින් මෙම ප්‍රතිපත්ති අඛණ්ඩතාවය විශේෂයෙන් වැදගත් වේ. තරඟකාරිත්වය සහ විදේශ අංශයේ බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ධනාත්මක පියවර කිහිපයක් අයවැයේ අඩංගු වන අතර ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කළ හැකි ඉහළ විභව අංශ කිහිපයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවස්ථාව ද ඇති බව වාණිජ මණ්ඩලය පෙන්නුම් කරදෙයි.2026 සහ 2027 අයවැය ලේඛන අතර පවත්වාගෙන ගොස් ඇති දැඩි අඛණ්ඩතාව පිළිබඳව වාණිජ මණ්ඩලය විශේෂයෙන්ම සතුටට පත්වේ. පසුගිය වසරේ අයවැය මගින් හඳුනාගත් ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියට ගෙන යමින් තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, එමගින් ව්‍යාපාර සහ ආයෝජකයින් සඳහා වඩාත් ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි පරිසරයක් නිර්මාණය වී ඇත. මෙයට ඇතුළත් වන කරුණු අතරට; ‘ජාතික වෙළඳ තනි කවුළු පද්ධතිය’ (TNSW) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, අතිරේක තීරුබදු අදියර වශයෙන් ඉවත් කිරීම, ඩිජිටල් හැඳුනුම්පත් රාමුව හඳුන්වා දීම, නව නිදහස් වෙළඳ ගිවිසුම් හරහා වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමට දරන උත්සාහයන්, ආයෝජන පහසුකම් සැලසීමේ ඒකාබද්ධ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, රේගු ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය සහාය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණයට අදාළ ප්‍රතිසංස්කරණ යන දෑ ඇතුළත් වේ.
ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා විස්සකට වැඩි ප්‍රමාණයක් 2027 අයවැය තුල අන්තර්ගත වී ඇති බව වාණිජ මණ්ඩලය ඉතාමත් සතුටෙන් ප්‍රකාශ කරයි. වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද ආයෝජන ප්‍රවර්ධන ආයතනයක් පිහිටුවීම හරහා ආයෝජක පහසුකම් ශක්තිමත් කිරීම සඳහා වන පියවර; වෙළඳ පහසුකම් සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන්; ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනුප්‍රාප්තික වැඩසටහනක් සඳහා රජය සලකා බැලීම; ප්‍රධාන ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණවල වේගවත් ප්‍රගතිය; ඩිජිටල් රාජ්‍ය සේවා පුළුල් කිරීම; සහ මුදල් රහිත ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ පුළුල් ඩිජිටල් සම්මත කිරීම. බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) වේගවත් ලෙස යෙදවීම සහ ඉන්ධන ගබඩා යටිතල පහසුකම්වල ආයෝජන, ඌන උපයෝජිත කෘෂිකාර්මික ඉඩම් ප්රශස්ත කිරීම සඳහා මුලපිරීම්, ඩිජිටල් ආර්ථිකයේ සහ IT/BPO අංශයේ ව්‍යාප්තියට සහාය වීම සඳහා පියවර සහ අපනයනකරුවන්ට සහාය වීම සඳහා බදු ප්‍රතිසංස්කරණ, අලුතින් VAT-ලියාපදිංචි අපනයනකරුවන් සුදුසුකම් ලත් අපනයනකරුවන් ලෙස පිළිගැනීම ඇතුළුව බලශක්ති ආරක්ෂාවට අදාළ ප්‍රමුඛතා කිහිපයක් ද අයවැය මගින් අල්ලාගෙන ඇත. මෙම ප්‍රමුඛතා ඇතුළත් කිරීම තිරසාර රාජ්‍ය-පෞද්ගලික සංවාදයේ වටිනාකම පිළිබිඹු කරන අතර ජාතික ප්‍රතිපත්ති අරමුණු සහ තරඟකාරී, අපනයන-නැඹුරු ආර්ථිකයක අවශ්‍යතා අතර පෙළගැස්ම පෙන්නුම් කරයි.
ඒ සමඟම, රටේ වර්ධන අපේක්ෂාවන් ශක්තිමත් කිරීම සඳහා අයවැයෙන් වැඩි අවධානයක් යොමු කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක් වාණිජ මණ්ඩලය ඉස්මතු කරයි. විශේෂයෙන්, විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණ, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව සහ වේගය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතී. සංචාරක, කෘෂිකර්මාන්තය, IT /BPO සහ සැපයුම් පහසුකම් ඇතුළු සැලකිය යුතු වර්ධන අවස්ථා ඇති අංශවල විභවය විවෘත කිරීම සඳහා වඩාත් ඉලක්කගත සහ ක්‍රියාකාරී යෝජනා හඳුන්වා දිය හැකිව තිබුණි.
සමස්තයක් ලෙස ගත් කල, 2027 අයවැය ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස ලංකා වාණිජ මණ්ඩලය දකියි. මෙය දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ මත පදනම් වන අතර, වාණිජ මණ්ඩලය විසින් යෝජනා කරන ලද නිර්දේශ කිහිපයක් ද ඊට ඇතුළත් කර ඇත. ප්‍රතිපත්තිමය පොරොන්දු, ආයෝජන, තරගකාරීත්වය, අපනයන සහ තිරසාර වර්ධනයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා, දැන් අවශ්‍ය වන්නේ එම යෝජනා කාර්යක්ෂමව සහ නියමිත කාලයට ක්‍රියාත්මක කිරීමයි. මෙම වැඩපිළිවෙලවල ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහාත්, ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයේ සිට තිරසාර වර්ධනයක් කරා ගෙන යාමට දායක වීම සඳහාත්, රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට ලංකා වාණිජ මණ්ඩලය සූදානමින් සිටී.
අද දෙරණ