ත්රස්තවාදය වැළැක්වීමේ නව පනත හේතුවෙන් ජාත්යන්තර බදු සහනයන් නොලැබී යාමේ අවදානමක් – ඇඟලුම් කර්මාන්තකරුවන් අනතුරු අඟවයි
මෙය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් නිකුත් කරන ලද නිවේදනයකි.
1979 වසරේදී ත්රස්තවාදය වැළැක්වීමේ නීතිය තාවකාලිකව හඳුන්වා දෙන ලදී. එහෙත් පසුගිය දශක හතරක කාලය පුරාම එය දැඩි ලෙස අවභාවිත වූ බව රහසක් නොවේ. ඒ නිසාම වන්නට ‘ත්රස්තවාදය වැළැක්වීමේ පනත’ ඉවත් කිරීම සඳහා දිගු කලක සිට විවිධ පියවරයන් ගෙන තිබිණ. එය එසේ තිබියදී ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ පසුගියදා නිල වශයෙන් ප්රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කෙසේ වුවද, මෙමගින් පැරණි මර්දනකාරී නීතිමය ක්රමවේදයන් එලෙසින්ම පවත්වාගෙන යන බව විචාරකයින්ගේ අදහසයි. මෙම කරුණ මානව හිමිකම් ක්රියාකාරීන්ට පමණක් නොව සමස්ත රටටම ඉතා වැදගත් වන්නේ, යුරෝපා සංගමය විසින් ලංකාවට ලබා දෙන GSP+ බදු සහනය මේ මත සෘජුවම රඳා පවතින බැවිනි.
සුදුසුකම්
GSP+ සහනය යනු නිකම්ම ලැබෙන තෑග්ගක් නොවේ. එය ශ්රී ලංකාවේ භාණ්ඩ සඳහා යුරෝපා සංගමයේ වෙළෙඳපොළට බදු රහිතව ඇතුළු වීමට අවස්ථාව ලබා දෙන අතර ඒ වෙනුවට මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම පිළිබඳ ජාත්යන්තර සම්මුතීන් 27ක් ක්රියාත්මක කිරීමේ කොන්දේසිය අප වෙත ලබා දෙයි. මෙම ලැයිස්තුව 2027-28 වසරවලදී සම්මුතීන් 32ක් දක්වා තවදුරටත් පුළුල් වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වසර ගණනාවක සිටම අවධාරණය කරන්නේ, පැරණි ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන ඕනෑම නව නීතියක් අනිවාර්යයෙන්ම එම ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල විය යුතු බවයි. එනම්, ත්රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම් ඉතා සරල හා පැහැදිලි විය යුතු අතර, පොදු ජනයාගේ එක් රැස්වීමේ, සංවිධානය වීමේ සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහස ආරක්ෂා විය යුතුය. එමෙන්ම විධායකයේ ක්රියාකාරීත්වය පාලනය කිරීමටත්, ප්රශ්න කිරීමටත් අධිකරණයට පූර්ණ බලය තිබිය යුතුය.
වැටුණු කර්මාන්තයට තවත් පහරක්
ඇඟලුම් යනු වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වටිනා, රටේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 40%කට වඩා වැඩි ප්රමාණයක් දරන ශ්රී ලංකාවේ විශාලතම අපනයන කර්මාන්තයයි. රෙදිපිළි සහ නිමි ඇඳුම් ද්රව්ය මගින් තවත් ඩොලර් මිලියන 522ක් පමණ ආර්ථිකයට එකතු වේ. යුරෝපා සංගමය මෙම සමස්ත අපනයනවලින් 30%කට වඩා වැඩි ප්රමාණයක් මිලදී ගන්නා අතර, මෙම වසරේ මුල් භාගය තුළ පමණක් ශ්රී ලංකාව ඩොලර් මිලියන 705ක ඇඟලුම් යුරෝපයට අපනයනය කිරීම තුලින් ඒ බව මනාව ගම්ය වේ.
එහෙයින් තවත් ආර්ථික කඩාවැටීමක් හෝ පීඩනයක් තව දුරටත් දරා ගැනීමේ හැකියාවක් මෙම ක්ෂේත්රයට ඇතැයි සිතිය නොහැකිය. 2026 වසරේ මුල් භාගය තුළ, යුරෝපා සංගමය වෙත සිදුකළ ශ්රී ලංකාවේ ඇඟලුම් අපනයනය 2025 වසරට සාපේක්ෂව 8%කින් පහත වැටී ඇත. එමෙන්ම එම කාලය තුළදීම යුරෝපය විසින් චීනයෙන් සිදුකළ ඇඟලුම් ආනයනය 5%කින් සහ වියට්නාමයෙන් සිදුකළ ආනයනය 9%කින් ඉහළ ගොස් තිබේ. මෙයින් පැහැදිලි වන්නේ අනෙකුත් රටවල් වර්ධනය වන විට, ශ්රී ලංකාවට යුරෝපය තුළ ඇති වටිනා වෙළෙඳපොළ කොටස වේගයෙන් අහිමි වෙමින් පවතින බවයි. කෙටියෙන් කිවහොත්, යුරෝපය යනු ශ්රී ලංකාවට කිසිසේත්ම දුර්වල වීමට ඉඩ හැරිය නොහැකි අතිශය තීරණාත්මක වෙළෙඳපොළකි.
නව පනත් කෙටුම්පතෙහි ඇති දුර්වලතා
2018 වසරේ සිට ත්රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට ගත් උත්සාහයන් හතරක් (4) පිළිබඳව සමීපව නිරීක්ෂණය කළ නීති විශාරදයින් පවසන්නේ, මෙම නව පිටපත පෙර කෙටුම්පත්වලට වඩා යම් තාක් දුරට යහපත් වුවද, එය තවමත් ජාත්යන්තර ප්රමිතීන්ට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බවයි. නව කෙටුම්පත තුල ඔවුන් පෙන්වා දෙන අඩුපාඩු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
● පුළුල් හා අපැහැදිලි අර්ථ දැක්වීම් : සාමාන්ය අපරාධ නීතිය මගින් දැනටමත් පාලනය කරනු ලබන ‘පොදු දේපළවලට හානි කිරීම’ සහ ‘සමහර ප්රකාශන මුද්රණය කර පළ කිරීම’ වැනි කරුණු පවා මෙම පනත මගින් ‘ත්රස්තවාදය‘ යටතට ඇතුළත් කර ඇත.
● සංවිධාන තහනම් කිරීමේ බලය : කිසිදු අධිකරණ මැදිහත්වීමකින් හෝ නිසි නීතිමය සීමාවකින් තොරව, හුදෙක් ‘සාධාරණ හේතු’ මත පදනම්ව ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට ජනාධිපතිවරයාට සෘජු බලය හිමි වේ. පැරණි මර්දනකාරී පනතේ පවා මෙවැනි ඒකාධිකාරී බලයක් ජනාධිපතිවරයාට ලබා දී නොතිබුණි.
● ගමනාගමන සීමා කිරීම්: සාමාන්ය වැසියන්ගේ ගමන් බිමන් සීමා කිරීමේ නියෝග, විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පෙර පැය 72ක් පුරා අඛණ්ඩව ක්රියාත්මක කිරීමට පොලිසියට බලය ලැබේ.
● රඳවා තබා ගැනීම : වරකට මාස දෙකක් බැගින් වන රඳවා තබා ගැනීමේ නියෝග, වසරක් දක්වා දිගින් දිගටම අලුත් කළ හැකිය. මෙහිදී අධිකරණ මහේස්ත්රාත්වරුන්ගෙන් අපේක්ෂා කරන්නේ පොලිසියේ ඉල්ලීම්වලට අත්සන් තැබීම පමණි.
● හමුදාවට පොලිස් බලතල ලැබීම : සාමාන්ය වැසියන් මඟහැරවීම, සෙවීම් කිරීම, අත්අඩංගුවට ගැනීම සහ පැය 48ක් රඳවා තබා ගැනීම සඳහා සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළාරක්ෂක බලකායට ස්ථාවර බලතල හිමි වේ. පාර්ලිමේන්තුව මගින් මාස්පතා අනුමත කළ යුතු හදිසි නීති මෙන් නොව, හමුදාවට ලැබෙන මෙම පොලිස් බලතල ස්ථිර නීතියක් බවට පත්වනු ඇත.
අධිකරණයට හිමි තැන
මෙම මුළු පනත පුරාම දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ අධිකරණ අධීක්ෂණයක් නොමැති වීමයි. රටකට ආරක්ෂක බලතල අවශ්ය බව කවුරුත් පිළිගනිති. නමුත් ප්රශ්නය වන්නේ එම බලතල පාලනය කරන්නේ සහ පරීක්ෂා කරන්නේ කවුද යන්නයි. සාමාන්ය අපරාධ නීතිය මගින් මහේස්ත්රාත්වරයෙකු නිරන්තරයෙන් මේ සඳහා සම්බන්ධ කර තබා ගන්නා අතර, මෙම පනත මගින් එසේ නොකරන්නේ මන්දැයි ක්ෂේත්රයේ ප්රවීණයන් ප්රශ්න කර සිටිති.
මෙහි සිදුකළ යුතු සංශෝධන ඉතා සරල ය. රඳවා තබා ගැනීමේ නියෝග අනුමත කිරීමට පෙර මහේස්ත්රාත්වරුන්ට සාක්ෂි කිරා මැන බැලීමට ඉඩ දීම, සංවිධාන තහනම් කිරීමේදී අධිකරණයට භූමිකාවක් ලබා දීම සහ අත්අඩංගුවට ගැනීම් සිවිල් පොලිසියට පමණක් පැවරීම එම සරල පියවරයන් වේ.
පනත් කෙටුම්පතේ පළමු කියවීම ඔක්තෝබර් 6 වැනිදා සිදු විය. ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව, පනතක් පාර්ලිමේන්තු න්යාය පත්රයට ඇතුළත් කර දින 14ක් ඇතුළත ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ හැකි අතර, ඉන්පසු තීරණයක් ලබා දීමට අධිකරණයට සති තුනක කාලයක් හිමි වේ. එබැවින් නොවැම්බර් මාසයට පෙර මේ පිළිබඳ විවාදයක් පැවැත්වීමට ඉඩක් නැත. ක්රියාකාරීන් පවසන්නේ නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර මෙම පනත සම්මත කර ගැනීමට රජයට අවශ්ය වී ඇති බවයි. ශ්රේෂ්ඨාධිකරණයට නීතියේ ව්යවස්ථාපිතභාවය ගැන මිස ප්රතිපත්ති පිළිබඳව තීන්දු දිය නොහැකි බැවින්, පනතේ වෙනස්කම් සිදු කිරීමට ඇති එකම ප්රායෝගික ක්රමය වන්නේ කාරක සභා අවස්ථාවේදී සිදුකරන සංශෝධන පමණි. පසුගිය කෙටුම්පත සම්බන්ධයෙන්ද රජය යෝජනා කිහිපයක් පිළිගත් බැවින්, මෙම පනත තවදුරටත් වෙනස් කිරීමට ඇති ඉඩකඩ මින් පැහැදිලි වේ.
ඇඟලුම් ක්ෂේත්රයේ අදහස
ශ්රී ලංකාවට ත්රස්ත විරෝධී නීතියක් අවශ්ය නොවන බව ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) කිසිසේත් අවධාරණය නොකරන අතර ඔවුන් පවසන්නේ අධිකරණ අධීක්ෂණයකින් තොර මෙතරම් පුළුල් හා මර්දනකාරී නීතියක් මගින්, ලක්ෂ සංඛ්යාත ජනතාවකගේ ජීවනෝපාය සපයන ජාත්යන්තර වෙළෙඳ අවස්ථාව දැඩි අවදානමකට ලක්වන බවයි. වත්මන් GSP+ සහන කාලසීමාව 2027 වසරෙන් අවසන් වන අතර, අනෙකුත් සෑම ප්රතිලාභී රටක් මෙන්ම ශ්රී ලංකාවද මෙම සහනයේ මීළඟ නව වෙළෙඳ චක්රය සඳහා නැවත අයදුම් කළ යුතුය. දැනට පවතින ආකෘතියට අනුව මෙම PSTA පනත සම්මත වුවහොත්, එය නව චක්රය සඳහා රට ඉදිරිපත් කරන අයදුම්පත ප්රතික්ෂේප වීමට බලපාන ප්රධානතම බාධකය වනු ඇත. යුරෝපා සංගමය යනු දැඩි නීති රීති මත ක්රියාත්මක වන නිලධාරීවාදී ආයතනයක් වන අතර, මෙම පනත නිසා ලංකාවේ අයදුම්පත අසාර්ථක වුවහොත්, රටට හිමි විශාලතම වෙළෙඳ බදු සහන වැඩසටහන රටට සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇත. එබැවින් ඇඟලුම් සංගමය අවධාරණය කරන්නේ ‘පනත් කෙටුම්පත හැකි ඉක්මණින් නිවැරදි කර ගැනීම ඉතා වැදගත් වන බවයි. එය සම්මත වූ පසු නිවැරදි කිරීමට යාම අතිශය පාඩු සහගත වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
අද දෙරණ