ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties එක් වී ජාතික ළමා දිනය වෙනුවෙන් කොළඹදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

0
Group News Thumbnail Size - 2

Group News Thumbnail Size - 2

2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ක්‍රියාත්මක වූ ජාතික ළමා සතියට සමගාමීව, ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties සමාගම එක් වී ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ආයතනික සමාජ වගකීම යටතේ කොළඹ 02 ප්‍රදේශයේදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.  

‘දරුවන් ලොව දිනන්නට, ආදරෙන් සුරකින්නට’ යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් 30 දින ගැලවීමේ හමුදා මූලස්ථාන ශාලාවේදී පැවති මෙම වැඩසටහනේදී මත්ද්‍රව්‍ය මෙන්ම ඩිජිටල් තාක්ෂණික ඇබ්බැහි වීම් ඇතුළු අවදානම්වලින් දරුවන් මුදවාගෙන ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි.

ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පතිනි ආර්. ඒ. දර්ශිකා කුමාරි මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේ සැසි සඳහා LEADS සහ Humedica Lanka ආයතනවල විශේෂඥ සම්පත් දායකයන් පිරිසක් සහභාගී වූහ.

වැඩසටහනට සහභාගී වූ පිරිස පිළිගනිමින් ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවේ වර්තමාන ලෝකයේ දරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සියලු පාර්ශ්වයන් දැනුවත්ව සිටීමත්, ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමත් අත්‍යවශ්‍ය බවයි. ජෝන් කීල්ස් සමූහයේ සමාගම් ජෝන් කීල්ස් පදනම සමඟ එක් වී දීර්ඝ කාලයක පටන් මෙවැනි සමාජ මෙහෙවරයන් සිදුකරන බවත්, ඉදිරියටත් එම මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සමූහය බලාපොරොත්තු වන බවත් ඇය අවධාරණය කළාය.

නියෝජ්‍ය පොලිස්පතිනි ආර්. ඒ. දර්ශිකා කුමාරි මහත්මිය පැවසුවේ දරුවන් ආරක්ෂා කිරීම දෙමාපියන්ගේ, පාසල්වල සහ රජයේ ආයතනවල මෙන්ම සමස්ත සමාජයේම සාමූහික වගකීමක් බවයි. ප්‍රජාවන් සමඟ සෘජුව සම්බන්ධ වී දරුවන්ගේ රැකවරණය සඳහා නිසි පියවර ගැනීම වැදගත් බවත්, ඒ සඳහා ජෝන් කීල්ස් පදනම ඉටුකරන මෙහෙවර ප්‍රශංසනීය බවත් ඇය කියා සිටියාය.

වැඩසටහනේ පළමු සැසියේදී දෙමාපියන් වශයෙන් දරුවන්ගේ යහපත උදෙසා ගත යුතු පියවර සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කෙරිණි. එහිදී ළමා අපයෝජනයේ සහ ළමා අපචාරයන් හි විවිධ ස්වරූපයන් පෙන්වා දෙන ලද අතර, දරුවන් සමඟ විශ්වාසය මූලික කරගත් විවෘත සංවාද ගොඩනංවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදි. එමෙන්ම තම දරුවන් අන්තර්ජාලය තුළ සැරිසරන ආකාරය සහ ඒ ඔස්සේ ඔවුන්ට මුහුණ දීමට සිදු විය හැකි අවදානම් පිළිබඳව දැනුවත්ව සිටීම දෙමාපියන්ගේ වගකීමක් බවද එහිදී අවධාරණය කෙරිණි.

දෙවන සැසියේදී මත්ද්‍රව්‍ය සහ වෙනත් ඇබ්බැහිවීම් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, එවැනි අවදානම් වළක්වා ගැනීම සඳහා දෙමාපියන් නිසි පරිදි දැනුවත්ව කල්තියා මැදිහත් විය යුතු බව එහිදී අවධාරණය කෙරිණි.

වැඩසටහනට සහභාගී වූ පුද්ගලයන් එය මෙහෙයවූ සම්පත් දායකයන් සමඟ ඉතා උනන්දුවෙන් අදහස් හුවමාරු කරගත් අතර, තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් දිගින් දිගටම සංවිධානය කිරීම වැදගත් බවද පැවසූහ.

මෙම වැඩසටහනට සමගාමීව ජාතික ළමා දිනය වෙනුවෙන් ජෝන් කීල්ස් පදනම විසින් සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක්ද දියත් කරන ලදි. ඩිජිටල් ලෝකය තුළ ආරක්ෂාව හා මානසික යහපැවැත්ම තහවුරු කිරීම, හිරිහැර කිරීම් හෝ සමවයස් කණ්ඩායම් වල බලපෑම්වලට නතු නොවීම සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම යනාදී කරුණු ආවරණය වන කෙටි වීඩියෝ මාලාවකින් එය සමන්විත විය.

මෙවැනි වැඩසටහන් හරහා ජෝන් කීල්ස් සමූහයේ සමාගම් සහ බාහිර හවුල්කරුවන් සමඟ එක් වී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදන අතරම, සමූහයේ දැක්ම වන ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන්න යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායක වීම ජෝන් කීල්ස් පදනමේ අරමුණ වී තිබේ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය මාර්ග, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රි ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ආයතනික සන්නාමය ලෙසත් LMD විසින් නම් කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *