එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ කටාර් රාජ්‍යය යන රාජ්‍යන්හි ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට කොළඹ වරාය නගරය සමත් වෙයි

0

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් හරහා ගල්ෆ් කලාපීය ආයෝජන උපායමාර්ග සහ කලාපීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය

කොළඹ වරාය නගරය විසින් සංවිධානය කරන ලද සුවිශේෂී ආයෝජක හමුවක් 2026 සැප්තැම්බර් 25 වන දින අබුඩාබි හි The St. Regis හෝටලයේ දී පැවැත්විණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, ආයෝජකයින් සහ ආයතනික පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේ දී, ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන වටිනාකම මෙන්ම කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය (SEZ) තුළ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. අබුඩාබි, මස්කට් සහ දෝහා යන නගර ආවරණය කරමින් දින හතක් පුරා පැවැති ගල්ෆ් ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධානතම අංගය ලෙස මෙම හමුව පැවැත් වූ අතර, 2026 වසර පුරා සිදුකළ සාර්ථක ප්‍රවර්ධන වැඩසටහන් මඟින් කොළඹ වරාය නගරය කෙරෙහි ගල්ෆ් කලාපීය ආයෝජකයින් තුළ ඇති වූ දැඩි උනන්දුව මෙමඟින් මනාව පිළිබිඹු විය.

මෙම ගල්ෆ් ප්‍රවර්ධන වැඩසටහන පවත්වන ලද්දේ, මේ වසරේ කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රවර්ධන කටයුතුවලට ලැබුණු ඉහළ ප්‍රතිචාර හේතුවෙනි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව අබුඩාබි හි රාජ්‍ය සහ ආයතනික ආයෝජකයින් තුළ පැවැති සුවිශේෂී උනන්දුව ද මෙයට සෘජුවම හේතු විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ වරාය නගරය එක්ව මෙම අබුඩාබි ආයෝජක හමුව සංවිධානය කරන ලදී. එහිදී අදහස් දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවයේ ශක්තිමත්භාවය සහ ඒ වෙනුවෙන් කොළඹ වරාය නගරයේ දායකත්වය පෙන්වා දුන්නාය. “එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු මැදපෙරදිග කලාපය තුළ ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු මෙන්ම ශ්‍රී ලංකාවේ 06 වන විශාලතම ආයෝජකයායි,” යැයි ඇය පැවසුවාය. “කොළඹ වරාය නගරය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සහ ගල්ෆ් ආයෝජන භාර ගැනීමට ඇති සූදානම පැහැදිලි වෙනවා. දකුණු ආසියානු කලාපයට පිවිසීමට බලාපොරොත්තු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින්ට, තමන් දැනටමත් අත්විඳින ආකාරයේම ජාත්‍යන්තර මට්ටමේ නූතන ව්‍යාපාරික පරිසරයක් කොළඹ වරාය නගරය තුළින් හිමිවෙනවා.”

ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ DMCC හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆෙර්යාල් අහමඩි මහත්මිය

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වූ DMCC හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆෙර්යාල් අහමඩි මහත්මිය, ගෝලීය වෙළඳාමේ සිදුවන වෙනස්කම් සහ එහිදී නිදහස් වෙළඳ කලාප ඉටුකරන කාර්යභාරය පිළිබඳව ඇගේ අදහස් දැක්වූවාය. “පර්යේෂණවලට අනුව ඉදිරි වසර දහය තුළ ගෝලීය වෙළඳාමෙන් 35% ක්ම දකුණු කලාපීය රටවල් අතර සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. උතුරු කලාපීය රටවල් සඳහා එය 25% ක්. මෙයින් අදහස් කරන්නේ ඩුබායි, සිංගප්පූරුව සහ කොළඹ පිහිටි නිදහස් වෙළඳ කලාප, ව්‍යාපාරවලට නව වෙළඳපොළවල් වෙත පිවිසීමට අවස්ථාව සලසා දෙන ප්‍රධාන සන්නිවේදන මධ්‍යස්ථාන ලෙස ඉදිරියේදී ඉතාමත් වැදගත් වන බවයි,” යැයි ඇය සඳහන් කළාය.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා අදහස් දක්වමින්, ගෝලීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස අබුඩාබි හි වර්ධනය සහ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම අතර පවතින සමානකම් පෙන්වා දුන්නේය. “ගෝලීය වෙළඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස අබුඩාබි හි වර්ධනයට මූලික වූයේ පෙරදිග සහ අපරදිග යාකරන උපායමාර්ගික පිහිටීම, ප්‍රබල රාජ්‍ය සම්පත සහ ප්‍රගතිශීලී නියාමන රාමුවයි. එමෙන්ම ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම සහ ස්වාභාවික ගැඹුරු මුහුදු වරායන් පැවතීම වැනි උපායමාර්ගික වාසි රැසක් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. මෙම භූගෝලීය ශක්තිය දෙරට අතර සහ ආයෝජකයින් අතර පවතින සබඳතාවට ප්‍රබල පදනමක් සපයනවා. කොළඹ වරාය නගරය යනු හුදෙක් සංවර්ධන ව්‍යාපෘතියක් පමණක් නෙමෙයි. එය දකුණු ආසියාව, මැදපෙරදිග, ආසියාව සහ අනෙකුත් කලාප යා කරමින් ව්‍යාපාර සඳහා විශ්වාසනීය සහ එකිනෙක අතර සම්බන්ධ වූ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති ජාතික මට්ටමේ උපායමාර්ගික පියවරක්.”

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා

කොළඹ වරාය නගරයේ වත්මන් ආයෝජන ප්‍රගතිය පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රෙවාන් වික්‍රමසූරිය මහතා, එක් ස්ථානයක් හරහා සියලුම සේවා සැපයීමේ ක්‍රමවේදය, විදේශ ව්‍යවහාර මුදල් පදනම් කරගත් මෙහෙයුම් පරිසරය, ආයෝජක ආරක්ෂණ යාන්ත්‍රණය සහ ෂරියා අනුකූල මූල්‍ය රාමුව ඇතුළත් මෙහි නියාමන රාමුව, ගල්ෆ් ආයෝජකයින්ගේ අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි විශේෂයෙන් සකස් කර ඇති බව සඳහන් කළේය. නිල උත්සවයේ කටයුතු අවසන් කරමින් අදහස් දැක්වූ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ වාණිජ අධ්‍යක්ෂිකා රාධිකා ඔබේසේකර මහත්මිය, මෙම ආයෝජක හමුව සාර්ථක කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබා දුන් අප්‍රමාණ සහයෝගය අගය කළාය.

ගල්ෆ් ප්‍රවර්ධන වැඩසටහනේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ෂියොං හොංෆෙං මහතා මෙසේ පැවසීය. “මස්කට්, අබුඩාබි සහ දෝහා යන නගර පුරා පැවැති මෙම සාකච්ඡා හරහා දකුණු ආසියානු වර්ධනය හා සම්බන්ධ වීමට කොළඹ වරාය නගරය යනු විශ්වාසනීය මෙන්ම සුපුරුදු වේදිකාවක් බව ගල්ෆ් ආයෝජකයින් මනාව වටහාගෙන ඇති බව පැහැදිලි වෙනවා. මෙම සාකච්ඡා ඉදිරියේ දී සාර්ථක ප්‍රායෝගික ආයෝජන හවුල්කාරිත්වයන් බවට පරිවර්තනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රෙවාන් වික්‍රමසූරිය මහතා

අබුඩාබි ආයෝජක හමුවට පෙර මස්කට් හිදී ප්‍රමුඛ පෙළේ ද්විපාර්ශ්වික හමුවීම් මාලාවක් පැවැත්වුණු අතර, එහිදී කොළඹ වරාය නගරයේ නියෝජිත පිරිස Khazaen Economic City, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OCCI) සහ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවූහ. ඒ අනුව Khazaen Economic City හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සලීම් බින් සුලෙයිමාන් අල් තුහ්ලි, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති අතිගරු ෂෙයික් ෆයිසාල් බින් අබ්දුල්ලා අල් රවාස්, වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදේශ වෙළඳ හා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ රාජකීය උපදේශක මෙන්ම Khimji Ramdas හි අධ්‍යක්ෂ අතිගරු පංකජ් කිම්ජි සහ වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ලේකම් අතිගරු ගලිබ් බින් සයීඩ් බින් මජිඩ් අල් මාමාරි යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වූහ. 2026 ජූනි මාසයේ දී මස්කට් හි පැවැති කොළඹ වරාය නගර ආයෝජක හමුව සහ අගෝස්තු මාසයේ දී ඕමාන නියෝජිත පිරිසක් කොළඹ වරාය නගරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව හරහා ගොඩනැඟුණු ප්‍රබල සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන අවස්ථා, ඕමාන-දකුණු ආසියානු ආයෝජන හා වෙළඳ කොරිඩෝව සහ ඕමාන ව්‍යාපාර සඳහා කොළඹ වරාය නගරයේ SEZ රාමුව තුළ ස්ථාපිත වීමට ඇති මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වුණු කොළඹ වරාය නගර ආයෝජක හමුව 2026

ගල්ෆ් ප්‍රවර්ධන චාරිකාව නිමාවට පත් කරමින් දෝහා හිදී කටාර් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ පළමු උප සභාපති අතිගරු මොහොමඩ් බින් අහමඩ් බින් ත්වාර් මහතා සමඟ පැවැත්වූ විශේෂ හමුව, කටාර් රාජ්‍යයේ ව්‍යාපාරික හා ආයෝජන ප්‍රජාව සමඟ කොළඹ වරාය නගරය පවත්වන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තැබූ සුවිශේෂී පියවරක් විය. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු සිතාරා ඛාන් මහත්මියගේ නායකත්වයෙන් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානයෙන් මෙම සාර්ථක සාකච්ඡාව පැවැත්විණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වුණු කොළඹ වරාය නගර ආයෝජක හමුව 2026

එමෙන්ම කොළඹ වරාය නගර නියෝජිත පිරිස, තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කටාර්-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, ශ්‍රී ලංකා සංවිධායක කමිටුව (SLCC) සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික හා වෘත්තීය කවුන්සිලය (SLBPC) යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සමඟ ද විශේෂ සාකච්ඡා පැවැත්වූහ.

කටාර් වාණිජ මණ්ඩලයේ පළමු උප සභාපති අතිගරු මොහොමඩ් බින් අහමඩ් බින් ත්වාර් අල් කුවාරි මහතා, කොළඹ වරාය නගර නියෝජිත පිරිස හමුවූ මොහොත

මෙම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් හරහා කටාර් රාජ්‍යය තුළ කොළඹ වරාය නගරය සිදුකරන ආයෝජන ප්‍රවර්ධන කටයුතු තවදුරටත් පුළුල් වූ අතර, ආයතනික හා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරමින් අඛණ්ඩ සංවාද, සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික ආයෝජන සඳහා නව මංපෙත් විවර විය.

කොළඹ වරාය නගර නියෝජිත පිරිස, Khazaen Economic City හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සලීම් බින් සුලෙයිමාන් අල් තුහ්ලි මහතා හමුවූ මොහොත

කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.portcitycolombo.lk වෙබ් අඩවියට පිවිසෙන්න. එක් ස්ථානයක් හරහා සියලුම ආයෝජන පහසුකම් සැලසීම සහ නියාමන කරුණු පිළිබඳ තොරතුරු සඳහා www.portcitycolombo.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

කොළඹ වරාය නගර නියෝජිත පිරිස, වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදේශ වෙළඳ හා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ රාජකීය උපදේශක අතිගරු පංකජ් කිම්ජි සහ වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ලේකම් අතිගරු ගලිබ් බින් සබීඩ් බින් මජිඩ් අල් මාමාරි යන මහත්වරුන් හමුවූ මොහොත
___________________________________

කොළඹ වරාය නගරය පිළිබඳව

කොළඹ වරාය නගරය යනු දකුණු ආසියාවේ ලෝක මට්ටමේ ව්‍යාපාරික සහ නවීන ජීවන රටා කේන්ද්‍රස්ථානයක් ලෙස සැලසුම් කර ඇති නවීන, ක්‍රමවත් නගර සංවර්ධන ව්‍යාපෘතියකි. ප්‍රධාන නැඟෙනහිර-බටහිර මුහුදු මාර්ගය ඔස්සේ හෙක්ටයාර 269ක් පුරා විහිදෙන මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ ව්‍යවහාර මුදල් සඳහා වෙන්වූ බහුවිධ සේවා විශේෂ ආර්ථික කලාපය (SEZ) වන අතර රටේ විශාලතම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව සංවර්ධන ව්‍යාපෘතිය ද වේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මඟින් පාලනය වන මෙම ව්‍යාපෘතිය, සුවිශේෂී නියාමන රාමුවක් යටතේ ක්‍රියාත්මක වේ. එමඟින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්, ශක්තිමත් ආයෝජක ආරක්ෂාවක්, ව්‍යාපාර කිරීමේ පහසුව මෙන්ම තරගකාරී මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් රැසක් ආයෝජකයන්ට පිරිනමයි.

ඉහළ වටිනාකමකින් යුතු සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා සැලසුම් කර ඇති කොළඹ වරාය නගරය මඟින් මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා, ගෝලීය වෙළඳාම, සමුද්‍රීය හා සැපයුම් දාම, වෘත්තීය සේවා මෙන්ම කලාපීය මූලස්ථාන මෙහෙයුම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට පහසුකම් සලසයි. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු, ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක සමස්ත සංවර්ධනයත් සමඟින් ශ්‍රී ලංකාව තුළ විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනයටත්, දැනුම හුවමාරු කර ගැනීමටත්, දිගුකාලීන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටත් මඟ පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාධ්‍ය විමසීම්

කැසැන්ඩ්රා මස්කරේනස්

කළමනාකාරිනී – ජාත්‍යන්තර අලෙවිකරණ සහ සන්නිවේදන

CHEC Port City Colombo (Pvt) Ltd.

[email protected]

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *