ඩොලරයේ උච්ඡාවචන හමුවේ උන්ඩියල්, හවාලා ක්‍රමවල වර්ධනයක් සිදුවෙලා ද?- මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

0
USD-Governor-CBSL-22.07.2026

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ දක්නට ලැබුණු සීඝ්‍ර වර්ධනයත් සමඟ විනිමය වෙළෙඳපොළ තුළ ඇති වූ අස්ථාවරත්වය හමුවේ, පසුගිය මාස කිහිපය තුළ උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් විනිමය හුවමාරු මාධ්‍යයන් හි යම් වර්ධනයක් සිදුව ඇත්දැයි, අද දෙරණ Business විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් සිදුකළේය.

එහිදී අධිපතිවරයා සඳහන් කළේ, පවතින දත්ත අනුව එවැනි වර්ධනයක් සිදුව ඇති බවට වාර්තා නොවන බවයි.

අද (22) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.

“එහෙම අපිට දත්තවලින් නම් පෙනෙන්න නැහැ. සාමාන්‍ය යෙන් formal – informal market එකේ තියෙන, gray market එකේ තියෙන premium එක. බැංකුවලින් දෙනවා නම් 335ක්, වෙන කොහෙන් හරි 340ක්, 345ක් ද ,350ක් ද කියන එක අනුව, එහෙම මාකට් එකක් තියෙනවා නම්, ඒ premium එක වැඩිවෙනවා. අපි දකින්නේ නැහැ එහෙම. බැංකුව සහ බැංකුවෙන් පිටත තියෙන විනිමය අනුපාත අතර ලොකු වෙනසක් නැහැ. එහෙම ලොකුවට gray market එකක් පේන්න නැහැ. අනෙක් එක තමයි remittances බැලුවාම තවමත් 235කින් වැඩිවෙලා තියෙනවා. formal channel එක වැඩිවෙලා කියන්නේ, informal channel එකට යන ප්‍රමාණය එහෙම වැඩිවෙලා නැහැ, තියෙන දත්ත අනුව.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 331.78ක් ලෙසත් විකුණුම් මිල රු. 341.04ක් ලෙසත් වාර්තා වී තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *