2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි
2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 8 ක වර්ධනයකි.
2026 වසරේ පළමු මාස හය තුළ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7,073.31 ක් වූ අතර, එය 2025 වසරේ පළමු මාස හයට වඩා සියයට 8.95 ක ඉහළ යාමකි. එමෙන්ම අදාල කාලය තුල සේවා අපනයන අංශය ද සියයට 4.49 ක ප්‍රගතියක් අත්කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,938.94 ක ආදායමක් උපයා ඇත.
2026 ජූනි මාසය ද ඉහළ අපනයන සාර්ථකත්වයක් අත්කර ගත් මාසයක් වූ අතර, එහිදී සමස්ත අපනයන ආදායම 2026 ජූනි මාසයට සාපේක්ෂව සියයට 12.53 කින් වර්ධනය වී ඩොලර් මිලියන 1,658.62 ක් බවට පත්ව තිබේ. මින් භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 1,314.10 ක් (සියයට 15.09 ක වර්ධනයක්) සහ සේවා අපනයනය ඩොලර් මිලියන 344.52 ක් ( සියයට 3.75ක වර්ධනයක්) ලෙස සටහන් විය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් වැනි දැනුම මත පදනම් වූ සේවා කර්මාන්ත, අපනයන ආදායම විවිධාංගීකරණය කිරීමට සහ විදේශ විනිමය උපයන්නට විශාල දායකත්වයක් ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳපොළේ පවතින විවිධ අභියෝග හමුවේ වුවද අපනයනකරුවන් පෙන්වන තරගකාරිත්වය මෙම ජයග්‍රහණයට මූලික වූ බවයි.
තවද, 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) හරහා අපනයන ක්ෂේත්‍රයේ නවෝත්පාදන, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



උපුටා ගැනීම : අද දෙරණ