සීගිරියේ සංචාරක වටිනාකම ශිල්පීය ජීවනෝපායන් බවට පරිවර්තනය කරමින් ‘ZeroPlastic මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්ලාස්ටික් විකල්ප මධ්‍යස්ථානය දියත් කරයි

0
Image-1-Impact-Center-ZP-e1783407380927

ZeroPlastic Impact Center සිය ව්‍යාපෘතියේ  පළමු අදියර ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ලෝක උරුම ස්ථානයක් ලෙස සැලකෙන සීගිරියේ දී  සාර්ථකව අවසන් කළේය.  එම ව්‍යාපෘතිය මගින් සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ දායකත්ව‍යෙන් දේශීය අත්කම් ශිල්පී පවුල්  100කට අධික සංඛ්‍යාවකට තිරසාර ආදායම් අවස්ථා නිර්මාණය  කිරීමට ඔවුන් සමත්වී තිබේ. 

අද වන විට බොහෝ සංචාරකයන් සීගිරියට පැමිණෙන්නේ පෞරාණික සීගිරි පර්වතය නැරඹීමට වුවද, දැන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සංචාරය නිමවා ඉන් පිටත්ව යන්නේ , තමන්ගේම දෑතින්ම උණ බම්බු නිර්මාණයක් සකස් කර අපූරු අත්දැකීමක් සහ භාවිතයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික්වලින් තොරව සිය සංචාරය සිදු  කරන බවට ලබා ගත් ප්‍රතිඥාවක් ද සමඟිනි. මේ තුළින්, ලාභදායී ප්ලාස්ටික් භාණ්ඩ හේතුවෙන් සාම්ප්‍රදායික වෙළඳාම අහිමි වී ගිය ශ්‍රී ලාංකික අත්කම් ශිල්පීන්ගේ ආදායම් මාර්ග සවිබල ගැන්වීමට හැකි වී තිබේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය ආශ්‍රිතව, පරිසර හිතකාමී හා තිරසාර සංචාරක අත්දැකීම් සඳහා නව ආදර්ශයක් සපයමින් ‘ZeroPlastic Movement’ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ප්ලාස්ටික් විකල්ප සහ අත්කම් අත්දැකීම් මධ්‍යස්ථානය’  පසුගියදා සිය පළමු මෙහෙයුම සාර්ථකව අවසන් කළේය. සීගිරිය පාරේ රොටවැව ප්‍රදේශයේ පිහිටි මෙම මධ්‍යස්ථානය ආරම්භ වූයේ එම කලාපයේ පරිසර සංරක්ෂණය සහ තිරසාර සංචාරක සහභාගීත්වයක් ඉලක්ක කර ගනිමිනි.

මෙම Impact Center සාමාන්‍ය තෑගි භාණ්ඩ අලෙවිසැලක් හෝ ප්‍රදර්ශනාගාරයක් පමණක්ම නොවේ. මෙහි පැමිණෙන සංචාරකයන්ට දේශීය ශිල්පීන්ගේ මගපෙන්වීම යටතේ උණ බම්බු සහ පොල් කටු ආශ්‍රිත අත්කම් නිර්මාණවලට සහභාගී වීමට අවස්ථාව උදා වේ. එලෙස තමන් සාදන ලද එම නිර්මාණය සමඟ ආපසු නිවසට රැගෙන යාමටත් ඔවුන්ට අවස්ථාව හිමි වන අතර, මෙහිදී අනවශ්‍ය ප්ලාස්ටික් භාවිතයෙන් වැළකී සිටීමට සහ පරිසර හිතකාමී ක්‍රියාකාරකම්වලට සහය දීමටත් ඔවුන් ‘ZeroPlastic වෙත ප්‍රතිඥාවක් ලබා දෙයි. එසේම මෙහිදී සීගිරි පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව සංචාරකයන්ව දැනුවත් කරන නිහඬ සිහිවටනයක් ලෙස  දේශීයව එකතු කරන ලද ප්ලාස්ටික් බෝතල් මූඩිවලින් සාදන ලද සම්ප්‍රදායික වෙස් මුහුණක්  සෑම සහභාගිවන්නෙකුටම තිළිණ කෙරේ.

මෙම මධ්‍යස්ථානය ‘Intrepid Travel’ ආයතනයේ පුණ්‍යායතනය වන ‘The Intrepid Foundation’ හි මූල්‍ය ආධාරයෙන් පිහිටුවන ලදී. ඔවුන් ZeroPlastic ආයතනයට ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ලබා දුන් අතර, ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරක ගමන් මාර්ගවලට මෙම මධ්‍යස්ථානය ද ඇතුළත් කර ඇත. කොළඹ පිහිටි උපායමාර්ගික මහජන සම්බන්ධතා සන්නිවේදන ආයතනයක් වන ‘Mark and Comm’ ආයතනය ZeroPlastic Movement හි නිල සන්නිවේදන සහකරු ලෙස කටයුතු කරයි.

මෙම අත්කම් නිර්මාණ පිටුපස, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අත්කම් ශිල්පී පවුල් 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වන සැපයුම් දාමයක් පවතී. පසුගිය දශක දෙක තුළ වෙළඳපොළට ගලා ආ ප්ලාස්ටික් භාණ්ඩ නිසා තම උණ, වේවැල්, පන් සහ ස්වභාවික තන්තු ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළඳාම අහිමි වී ගිය ප්‍රජාවන් සඳහා මෙම මධ්‍යස්ථානය නව වෙළඳපොළක් නිර්මාණය කර ඇත.

“සීගිරිය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය ලක් වන්නේ ශ්‍රී ලංකාව විසින් රැකගත් පෞරාණික වටිනාකමින් යුත් අගනා උරුමයක් එහි පවතින බැවිනි” යනුවෙන් ZeroPlastic Movement හි නිර්මාතෘ නිශ්ශංක ද සිල්වා මහතා පවසයි. එබැවින් ‘Impact Center’ හි අරමුණ වන්නේ සංරක්ෂණයේ වටිනාකම සංචාරකයින්ගේ අත්දැකීමක් බවට පත් කර, ඔවුන් සමඟ එය ඉදිරියට රැගෙන යාමයි. අත්කම් නිර්මාණය යනු ඊට ආරාධනාවක් පමණක් බවත් ප්‍රතිඥාව, තිරසාර අනාගතයක් සඳහා වූ කැපවීමක් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ලියාපදිංචි ලාභ නොලබන සංවිධානයක් වන ZeroPlastic Movement, මේ වන විට දිවයින පුරා ස්වේච්ඡා සේවකයන් 120,000කට අධික සංඛ්‍යාවක් ද, විශ්වවිද්‍යාල සහ පාසල් මට්ටමින් ක්‍රියාකාරී සමාජ ජාලා ද පවත්වාගෙන යයි. මේ වන විට ශ්‍රී ලංකාවේ ජල මාර්ග සහ පරිසරය පද්ධති තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250කට වඩා ඉවත් කිරීමට ඔවුන් සමත් වී තිබේ. 2023 වසරේ වැඩිම ස්වේච්ඡා සේවා පැය ගණනක් වාර්තා කළ ආයතනය ලෙස ද ඔවුන් UN Volunteers වැඩසටහනෙහි ඇගයීමට ලක් විය.

මධ්‍යස්ථානය පිවිසුමේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් නිර්මාණය කරන ලද යෝධ අලි ප්‍රතිමාව මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන නිර්මාණයයි. එය කිසිදු විස්තරයකින් තොරව සිය පණිවිඩය පැහැදිලිව ඉදිරිපත් කරයි.

සීගිරිය, රොටවැව, සීගිරි මාර්ගයේ පිහිටි Impact Center වෙත තනි තනිව පැමිණෙන සංචාරයින්‍ට  මෙන්ම සංචාරක කණ්ඩායම් සඳහා ද විවෘතව පවතී . පැමිණීමට පෙර වැඩමුළු සඳහා වේලාවන් වෙන් කරවා ගැනීම (Bookings) වඩාත් සුදුසුය.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *