ශ්‍රී ලංකා අධි රුධිර පීඩන සංගමය විසින් මෙහෙයවනු ලබන ‘ අධි රුධිර පීඩන සමුළුව 2026’ පැවැත්වීමට සැලසුම් කෙරේ

0
Image No 01 (31)

“ඔබේ අගයන් දැනගන්න, ඔබේ පීඩනය පාලනය කරගන්න, ඔබේ අනාගතය සුරක්ෂිතකරගන්න”

ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යාලය හා ඒකාබද්ධව ශ්‍රී ලංකා අධි රුධිර පීඩන සංගමය විසින් පසුගිය දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම වසරේ අධි රුධිර පීඩන සමුළුව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බව එහිදී නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබිණි. එමෙන්ම මෙම සාකච්ඡාව ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් වර්ධනය වන අධි රුධිර පීඩන අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, එය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම, නිතිපතා පරීක්ෂා කිරීම සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබාගැනීම පිළිබඳව සමාජය දැනුවත් කිරීම ද අපේක්ෂා කෙරිණි. ලංකාවේ අධි රුධිර පීඩන සායනික සේවාවන් තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම සමුළුව සඳහා රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ වැළැක්වීමේ නවතම ප්‍රවණතා සාකච්ඡා කිරීම උදෙසා පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්වීමට නියමිත බව ද ප්‍රකාශයට පත් කෙරිණි.

හෘද රෝග, අංශභාගය (ආඝාතය), වකුගඩු රෝග සහ අකල් මරණ සඳහා බලපාන ප්‍රධානතම අවදානම් සාධකයක් ලෙස අධි රුධිර පීඩනය තවමත් පෙරමුණේ පසු වෙයි. මෙහි ඇති බරපතලම තත්ත්වය නම්, මේ තුළින් ශරීරයට දැඩි සෞඛ්‍ය බලපෑම් එල්ල කළ ද, බොහෝ පිරිසක් කිසිදු බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වා මෙම රෝගය සමඟ ජීවත්වීම සහ එය හඳුනා නොගැනීමයි.

“ඔබේ අගයන් දැනගන්න, ඔබේ පීඩනය පාලනය කරගන්න, ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව මඟින් රෝගය වැළැක්වීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රමවේද කාර්යක්ෂම කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි සෘජුව අවධානය යොමු කරනු ලබයි. මෙම අවස්ථාව අධි රුධිර පීඩන කළමනාකරණයේ නවතම දියුණුව පිළිබඳව සාකච්ඡා කිරීමට වේදිකාවක් සපයන අතරම, සෞඛ්‍ය වෘත්තිකයන්, ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයන්, සේවා යෝජකයන් සහ සමස්ත මහජනතාව අතර වඩාත් පුළුල් සම්බන්ධතාවක් ගොඩනැගීමට ද උපකාරී වනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අධි රුධිර පීඩන සංගමයේ සභාපති වෛද්‍ය සුරංග මානෙල්ගම මහතා මෙසේ පැවසුවේය. “හෘද රෝග, අංශභාගය සහ වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන, වඩාත්ම පහසුවෙන් වළක්වා ගත හැකි ප්‍රධානතම හේතුවක් ලෙස අධි රුධිර පීඩනය හඳුනාගෙන තිබුණත්, තමන්ට එම රෝගය පවතින බව තවමත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ‘අධි රුධිර පීඩන සමුළුව 2026’ හි මූලිකම අරමුණ වන්නේ රෝගීන්ගේ සුවය තහවුරු කිරීම, රෝගය වැළැක්වීමේ පියවර ශක්තිමත් කිරීම සහ රෝගී තත්ත්වය උත්සන්න වීමට පෙර තමන්ගේ රුධිර පීඩන අගයන් පිළිබඳව අවධානයෙන් සිටීමට ශ්‍රී ලාංකිකයන් උනන්දු කරවීමයි.”

කල්තියා රෝගය හඳුනා ගැනීමට බාධාවක්ව පවතින සමාජයේ පවතින මිථ්‍යා මත කිහිපයක් ද මෙහිදී එම සංගමය විසින් පෙන්වා දෙන ලදී. නිරෝගී පුද්ගලයන්ට රුධිර පීඩනය පරීක්ෂා කිරීම අනවශ්‍ය බව, අධි රුධිර පීඩනය වැළඳෙන්නේ වයස්ගත අයට පමණක් බව සහ ඉහළ රුධිර පීඩනය යනු බරපතල රෝගයක් නොවන බවට පවතින මත ඒ අතර වේ. අධි රුධිර පීඩනයෙන් සිදුවන බලපෑම අවම කිරීමට සහ ශ්‍රී ලංකාවේ හෘද වාහිනී සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට ගනු ලබන ජාතික ප්‍රයත්නයන් සඳහා අත්වැලක් වෙමින්, මෙම සමුළුව සඳහා විශේෂඥ සාකච්ඡා, විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් සහ සාදන්නාත්මක සංවාද ද අන්තර්ගත කිරීමට සැලසුම් කර ඇත.

දිගුකාලීන සෞඛ්‍ය අවදානම් අවම කරගැනීම සඳහා, නිතිපතා තම රුධිර පීඩනය පරීක්ෂා කරන ලෙසත්, අගයන් ඉහළ මට්ටමක පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත්, වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකා අධි රුධිර පීඩන සංගමය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඔබ මෙතෙක් නොදන්නා, නමුත් ඔබේ ජීවිතයට වඩාත්ම වැදගත් වන රහසිගත අගය ඔබේ “රුධිර පීඩන අගය” විය හැකිය. “අධි රුධිර පීඩන සමුළුව 2026” හි අපේක්ෂාව එම තත්ත්වය වෙනස් කිරීමයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *