ESG ප්‍රමිතීන්ට මුල් තැන දෙමින් පැල්වත්ත කිරි සමාගම ලංකාවේ කිරි කර්මාන්තය තුළ විශාලතම අපජල පිරිපහදු පද්ධතිය විවෘත කරයි

0
Image No 02 (3)

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් (Pelwatte Dairy Industries Limited) සමාගම සිය බුත්තල නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේ අතිනවීන අපජල පිරිපහදු පද්ධතියක් (Effluent Treatment Plant – ETP) පසුගිය දා සාර්ථකව විවෘත කල අතර පාරිසරික, සමාජීය ,පාලන අනුකූලතාවය සහ වගකීම්සහගත කිරි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන්  බුත්තල පරිසර සංරක්ෂණය විසින් තැබූ සුවිශේෂී පියවරක් එමඟින් සනිටුහන් කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ ස්ථාපිත කරන ලද විශාලතම අපජල පිරිපහදු පද්ධතිය වේ. එමඟින් සිය ව්‍යාපාරික කටයුතු ගෝලීය පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තම ස්ථාවරත්වය ශක්තිමත් කර ගැනීමටත් පැල්වත්ත සමාගම සතු කැපවීම මැනවින් පිළිබිඹු කරයි.

පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම සිය මූලික ව්‍යාපාරික ක්‍රියාවලියට බද්ධ කිරීම වෙනුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ දුරදක්නා සහ උපායමාර්ගික තීරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ආයෝජනය හැඳින්විය හැකිය. පැල්වත්ත සමාගම සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන්වල දී, පාරිසරික අනුකූලතාවය තිරසාර වර්ධනයේ ප්‍රධානතම අංගයක් බවට පත්ව තිබේ.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක මහතා විසින් ESG (පාරිසරික, සමාජීය සහ පාලන) අනුකූලතාවය සහ තිරසාර කිරි සැකසුම් ක්‍රියාවලිය වෙනුවෙන් පැල්වත්ත සමාගම සතු කැපවීම යළිත් තහවුරු කරමින්, එහි බුත්තල නිෂ්පාදන කම්හලේ අපජල පිරිපහදු පද්ධතිය (ETP) නිල වශයෙන් විවෘත කිරීම සඳහා සමරු ඵලකය නිරාවරණය කරනු ලබන අවස්ථාව.

බටහිර, යුරෝපා සහ පෙරදිග කලාපීය වෙළඳපොළවල් වෙත ප්‍රවේශ වීමේදී අපජල බැහැර කිරීමේ ප්‍රමිතීන්, පාරිසරික වාර්තාකරණය සහ තිරසාර භාවිතයන් පිළිබඳව පනවා ඇති දැඩි කොන්දේසි සපුරාලිය හැකි වන පරිදි මෙම නව පිරිපහදු පද්ධතිය සැලසුම් කර තිබීම විශේෂත්වයකි. එසේම මෙම පද්ධතිය සතුව දිනකට අපජල ඝන මීටර 250ක (250 m³) මූලික පිරිපහදු ධාරිතාවක් පවතින අතර, උපරිම නිෂ්පාදන කාලසීමාවන්හි දී එය දිනකට ඝන මීටර 325ක් (325 m³) දක්වා ඉහළ නැංවිය හැකි පරිදි ඉංජිනේරු තාක්ෂණයෙන් නිමවා ඇත. අනාගතයේ දී නිෂ්පාදන ධාරිතාවන් පුළුල් වන විට ඇතිවන අවශ්‍යතාවන්ට මුහුණ දීම සඳහා මෙහි 30% ක අතිරේක ධාරිතාවක් ද වෙන්කර තිබේ. මෙමඟින් ඉහළ නිෂ්පාදන ධාරිතාවක් පවතින කාල වකවානුවලදී පවා පාරිසරික සමතුලිතතාවය නොකඩවා රැකගැනීමට පැල්වත්ත සමාගමට හැකියාව ලැබෙනු ඇත.

ලෝක මට්ටමේ පිරිපහදු ප්‍රමිතීන් ළඟා කරගැනීම සඳහා මෙම පද්ධතියට අතිනවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් ද ඇතුළත් කර තිබේ. Integrated Dissolved Air Flotation (IDAF) තාක්ෂණය, Anaerobic and Enhanced Sequential Batch Reactor (AnSBR/eSBR) පද්ධති, CIP (Clean-in-Place) අපජල කළමනාකරණය සඳහා වෙන්වූ විශේෂ පද්ධතිය, Real-time automated process monitoring (තත්කාලීන ස්වයංක්‍රීය ක්‍රියාවලි අධීක්ෂණය), Screw press sludge dewatering (මල අපද්‍රව්‍ය විජලනය කිරීමේ ක්‍රමවේදය) ආදිය ඒ අතර වේ. මෙම උසස් පද්ධති මඟින් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (BOD), රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) සහ පෝෂක බැහැර කිරීමේ සීමාවන් වැනි තීරණාත්මක පාරිසරික පරාමිතීන් නියමිත ප්‍රමිතීන්ට අනුව පවත්වා ගනු ලබයි. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) දැඩි අපජල බැහැර කිරීමේ ප්‍රමිතීන්ට මෙන්ම ISO 14001 පාරිසරික කළමනාකරණ පද්ධති (EMS) භාවිතයන්ට ද පූර්ණ ලෙස අනුකූල වේ.

තව ද, මෙම පද්ධතිය විවෘත කිරීමේ නිල උත්සවය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පාරිසරික අංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) පළාත් හා දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ජාතික පාරිසරික රාමුවට මෙන්ම ගෝලීය හොඳම භාවිතයන්ට අනුකූලව කටයුතු කිරීම සඳහා පැල්වත්ත සමාගම රාජ්‍ය නියාමන ආයතන සමඟ සමීපව කටයුතු කරන බව මේ තුළින් තහවුරු වේ.

මෙම නව ව්‍යාපෘතියත් සමඟ, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ සහ නියාමන ආයතනවල පාරිසරික අපේක්ෂාවන් සපුරාලිය හැකි හා ගෝලීය වශයෙන් තරඟකාරී කිරි නිෂ්පාදකයෙකු ලෙස ද පැල්වත්ත සමාගම සිය අනන්‍යතාවය තහවුරු කරගෙන ඇත. මෙමඟින් සමාගමේ ESG ප්‍රතිරූපය වර්ධනය වනවා පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය කිරි කර්මාන්තයේම තිරසාරභාවයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට ද මහඟු දායකත්වයක් ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා දායක වූ ව්‍යාපෘති කණ්ඩායම, මෙහෙයුම් කාර්ය මණ්ඩලය, උපදේශකයින්, නියාමන ආයතන සහ සියලුම හවුල්කරුවන් වෙත පැල්වත්ත සමාගම සිය අවංක කෘතඥතාව පළ කරනු ලබයි. විශේෂයෙන්ම, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකර දීම සඳහා ඉංජිනේරු තාක්ෂණික දායකත්වය සැපයූ ‘Industrial Solutions Lanka (Pvt) Limited’ ආයතනය වෙත සමාගමේ සුවිශේෂී ඇගයීම හිමිවේ.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගමකි. සමස්ත කිරි නිෂ්පාදන දාමය පුරාම නවෝත්පාදනය, තිරසාරභාවය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කරමින් පාරිභෝගිකයින් වෙත උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපයීමට පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *