මානව් සාණි නෙස්ලේ ලංකා මුල් පුටුවට

0
Manav-Sahni

2026 මැයි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි  නෙස්ලේ ලංකා සමාගමේ නව සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මානව් සාණි මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී.  මෙතෙක් එම තනතුරෙහි කටයුතු කළ බර්නි ස්ටෙෆාන් මහතාගෙන් පසුව මානව් සාණි මහතා එම ධූරයට පත් විය. නෙස්ලේ සමූහයේ නව ජාත්‍යන්තර තනතුරක් වෙනුවෙන් විදේශගත වීමට නියමිතව ඇති බර්නි ස්ටෙෆන් මහතා 2023 වසරේ සිට පැවති අභියෝගාත්මක කාල සීමාව තුළ නෙස්ලේ ලංකා ආයතනයට සාර්ථක නායකත්වයක් ලබා දෙමින් සමාගම ස්ථාවර වර්ධනයක් කර ගෙන යාමට සමත් විය.

ෂිය අති සාර්ථක සේවා කාලය පිළිබඳව අදහස් දැක්වූ බර්නි ස්ටෙෆාන් මහතා “නෙස්ලේ ලංකා ආයතනය නායකත්වය ලබා දීමට හැකිවීම මගේ වෘත්තීය ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකීමට කැමතියි. ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත් වනවා. පෞද්ගලිකව ගත් විට මේ සුන්දර රටේ ජීවත් වෙමින් ශ්‍රී ලාංකිකයින්ගේ කරුණාව සහ ආගන්තුක සත්කාරය අත්විඳීමට ලැබීම මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ලෙස සඳහන් කළ හැකියි. වසර 120ක් පුරා ශ්‍ර ලාංකිකයන් සමඟ සමීපව කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම පවුල් ප්‍රජාව ශක්තිමත් කිරීමටත්, පරිසරය සුරැකීමටත් සිදු කළ මෙහෙවර පිළිබඳව ඉතාමත් සතුටුයි. ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මා වෙත සහයෝගය ලබා දුන් සියලු දෙනාට මේ මොහොතේ ස්තුතිය පළ කර සිටිනවා. අපගේ ශක්තිමත් කණ්ඩායම ඉදිරියටත් සාර්ථකව මෙම මෙහෙවර ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.

පාරිභෝගික භාණ්ඩ (FMCG) සහ විදුලි සංදේශ යන ක්ෂේත්‍රයන්හි වසර 18කට වැඩි අත්දැකීම් සහිත මානව් සාණි මහතා නෙස්ලේ ලංකා සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට පත්වීමට පෙර දකුණු ආසියානු කලාපයේ නෙස්ලේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. එහිදී එකිනෙකට වෙනස් නිෂ්පාදන පෙලක් මනාව කළමනාකරණය කරමින් ව්‍යාපාරය සාර්ථක පරිවර්තනයක් කරා ගෙන යාමට ඔහු සමත් විය.

නව තනතුරට පත්වීම පිළිබඳව අදහස් දැක්වූ  මානව් සාණි මහතා සඳහන් කර සිටියේ  “ නෙස්ලේ ලංකා සමාගමේ සුවිශේෂී ගමන් මඟ තුළ එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. පරම්පරා ගණනාවක් පුරා නෙස්ලේ නිෂ්පාදන ශ්‍රී ලාංකේය නිවෙස්වල කොටසක් බවට පත්ව තිබෙනවා. රසවත් මෙන්ම පෝෂ්‍යදායී නිෂ්පාදන තුලින් පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීමත්, අපගේ සන්නාම සහ විවිධ ව්‍යාපෘති තුලින් සමාජයට යහපත් බලපෑමක් ඇති කිරීමත් වෙනුවෙන් මම නෙස්ලේ ලංකා කණ්ඩායම සමඟ එක්ව වැඩ කිරීමට ඉතා උනන්දුවෙන් බලා සිටිනවා” යනුවෙනි.

සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා ආහාරයන්හි ඇති ශක්තිය උපයෝගී කර ගැනීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් නෙස්ලේ ලංකා සමාගම වසර 120ක් පුරා ශ්‍රී ලාංකිකයින්ට රසවත් හා පෝෂ්‍යදායී නිෂ්පාදන ලබා දෙමින් සිටියි. සෞඛ්‍ය සම්පන්න පවුල්, ශක්තිමත් ප්‍රජාවන් හා වඩා සුරක්ෂිත පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් කැපවන නෙස්ලේ ලංකා සමාගම සිය නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් උසස්ම තත්වයේ ආරක්ෂිත හා ගුණාත්මක ප්‍රමිතීන් අනුගමනය කරමින් කුරුණෑගල පිහිටි සිය නවීන කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කරනු ලබයි.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *