ශ්‍රී ලාංකේය අනාගත ඔලිම්පික් පිහිනුම් තරු බලගැන්වීමට Moose Clothing සමාගම පෙරමුණ ගනී
Moose Clothing සමාගම විසින් ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඔලිම්පික් දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් නිර්මාණය කළ “Moose Future Olympians – Road to 2032” නම් වූ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන පසුගිය දා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයකින් ඔබ්බට ගමන් කරමින්, 2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් තරුණ පිහිනුම් ක්‍රීඩකයින් මෙහෙයවීම සඳහා පැහැදිලි සහ විධිමත් මාවතක් සකස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙය කෙටි කාලීන ප්‍රචාරණ ව්‍යාපාරයක් නොවන අතර ශ්‍රී ලංකාවේ තරුණ්‍යයේ සංවර්ධනය සහ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩාවන් අරමුණු කරගනිමින් Moose Clothing සමාගම විසින් සිදු කරනු ලබන දීර්ඝකාලීන ආයෝජනයකි. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමින් තරග කිරීමට හැකියාව ඇති බවට හඳුනාගත් තරුණ පිහිනුම් ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. එහිදී, වයස අවුරුදු 18ක් වන සෙනිත දීනල්, අවුරුදු 19ක් වන ජෙසී සෙනෙවිරත්න, අවුරුදු 15ක් වන අකලංක නිසල්, අවුරුදු 13ක් වන දිසාලි ලොකුවිතාන සහ අවුරුදු 15ක් වන මාර්ක් ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට ඇතුළත් කර ගෙන තිබේ. ඉදිරියේ දී මෙම සංචිතය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය.
“Moose Future Olympians – Road to 2032” වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ හුදෙක් පුද්ගලික ජයග්‍රහණ අත්කර දීම පමණක් නොවේ. මෙමඟින් අඛණ්ඩ මූල්‍ය අනුග්‍රහය, විධිමත් පුහුණුව සහ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම හරහා පිහිනුම් ක්‍රීඩකයින්ගේ වර්ධනයට අවශ්‍ය දීර්ඝකාලීන පසුබිමක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනු ලබයි. මසකට වරක් පිරිනැමෙන මූල්‍ය අනුග්‍රහය, පුළුල් පුහුණු රාමුවක් සහ වාර්ෂික දක්ෂතා ඇගයීම් යන කරුණු මඟින් සෑම ක්‍රීඩකයෙකුම විනයගරුක සහ එකිනෙකාගේ දක්ෂතා කළ හැකි සංවර්ධන ගමනක් ඔස්සේ මෙහෙයවනු ලබයි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද මෙම ඉහළ දක්ෂතා සහිත පද්ධතිය මෙහෙයවනු ලබන්නේ ආචාර්ය කෞෂාල් මානවඩු මහතා විසිනි. මෙම ව්‍යුහගත ප්‍රවේශය හරහා ඉදිරි වසරවල දී තවත් බොහෝ පිහිනුම් ක්‍රීඩකයින්ට සහය විය හැකි පුළුල් ජාතික සංවර්ධන වේදිකාවක් දක්වා මෙය පරිණාමය වීම මෙහි සුවිශේෂීත්වයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා මෙසේ පැවසුවේය.
“මෙය 2032 දක්වා දිවෙන දීර්ඝකාලීන ගමනක්. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන් කෙරෙහි අප තබා ඇති විශ්වාසය මේ ඔස්සේ මැනවින් ඉස්මතු වෙනවා. දක්ෂ පිහිනුම් ක්‍රීඩකයින් පිරිසක් සමඟ අපි මෙය ආරම්භ කරන අතර එය මෙම සුවිශේෂී වැඩසටහනේ මූලික පියවර පමණයි. අපගේ අරමුණ වන්නේ ක්‍රීඩකයින්ට අඛණ්ඩව සහයෝගය දක්වන විධිමත් මාවතක් ගොඩනැඟීමයි. එය ඔවුන්ට වර්ධනය වීමට, තරග කිරීමට සහ අවසානයේ ලෝක මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට උපකාරී වෙනවා. මෙය හුදෙක් පිහිනුම් ක්‍රීඩකයන්ට අනුග්‍රහය දැක්වීමක් නොව, අනාගත ඔලිම්පික් ක්‍රීඩකයින් නිර්මාණය කිරීමක්.”
‘Road to 2032’ වැඩසටහන මඟින් තරුණ ක්‍රීඩකයින්ගේ අපේක්ෂාවන් පෙරදැරි කරගත් මානුෂීය පැතිකඩක් ද ඉදිරිපත් කරනු ලබයි. එමඟින් පවුල්, පුහුණුකරුවන් සහ සමස්ත ක්‍රීඩා ප්‍රජාවම ජාතික ප්‍රගතිය පිළිබඳ පොදු දැක්මක් වටා ඒකරාශී කරගනියි.
මේ හරහා, අනාගත දැක්ම සහ විධිමත් වැඩපිළිවෙළ තුළින්, ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ අනාගතයට සක්‍රීයව දායක වන සන්නාමයක් ලෙස Moose Clothing සමාගම ඉදිරියට පැමිණ ඇත. අර්ථවත් බලපෑමක් ඇති කළ හැක්කේ අඛණ්ඩ උත්සාහය, නිසි සැලසුම්කරණය සහ දක්ෂතා සංවර්ධනය කිරීම වෙනුවෙන් දක්වන සැබෑ කැපවීමෙන් බව මෙම වැඩසටහන මඟින් තහවුරු කරනු ලබයි. “Moose Future Olympians – Road to 2032” සිය ගමන ආරම්භ කිරීමේ දී එය තනි වැඩසටහනකින් ඔබ්බට ගිය සාමූහික ක්‍රියාවලියක් බව පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව එය සෑම පිහිනුම් ක්‍රීඩකයෙකුම කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතය ගොඩනැගීම සඳහා නිර්මාණය කරන ලද ශක්තිමත් අත්වැලක් ලෙස දැකිය හැකිය
