මැදපෙරදිග යුද උණුසුම මැද මාර්තු මාසයේ සංචාරක පැමිණීම 19.7%කින් පහළට
2026 මාර්තු මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වේ.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් එම කලාපය හරහා ක්‍රියාත්මක කෙරණු ගුවන් ගමන් සීමාවීමත්, බොරතෙල් ඇතුළු බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය අස්ථාවරත්වය තුළ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාමත් වැනි කරුණු මෙලෙස ලොව පුරා සංචාරක කර්මාන්තයේ පසුබැස්මක් ඇති වීමට හේතු වී ඇත.
මේ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2026 මාර්තු මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් බවයි.
මෙය 2025 වසරේ මාර්තු මාසය හා සැසදීමේ දී 19.7%ක පසු බැස්මක් පෙන්නුම් කරයි.
2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුළ ඉතිහාසගත සංචාරක පැමිණීමක් වාර්තා වූ අතර මාර්තු මාසයේ මෙලෙස සංචාරක පැමිණීමෙහි පහළ යාමක් වාර්තා වීමත් සමග මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 740,634ක් ලෙස වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ගේ පහළ යාමක් නිරීක්ෂණය නොවන අතර මාර්තු මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් 26%ක් එනම් 47,533ක් ඉන්දියාවෙන් පැමිණ ඇත.
කෙසේ වෙතත් එම කාල සීමාව තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමෙහි සැලකිය යුතු අඩු වීමක් නීරීක්ෂණය කළ හැකි අතර 10%ක එනම් 18,092ක සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් සහ 9%ක එනම් 15,685ක සංචාරකයින් පිරිසක් රුසියාවෙන් මෙරටට පැමිණ ඇත.




උපුටා ගැනීම : අද දෙරණ