EWIS වෙතින්, පැරණි ආයතනික මෘදුකාංග පද්ධති නවීකරණය කිරීමට AI තාක්ෂණය හරහා EWIS AEGIS

0
Image (30)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ පද්ධති සම්පාදකයෙකු වන EWIS සමාගම EWIS AEGIS, නවතම AI තාක්ෂණික පද්ධතිය හඳුන්වා දී ඇත. ඕනෑම ආයතනයක පවතින පැරණි එනමුදු ආයතන මෙහෙයුම් වලට සෘජු දායකත්වයක් ලබාදෙන අත්‍යවශ්‍ය මෘදුකාංග පද්ධති වේගවත්ව, මනා පාලනයකින්  සහ නිවැරදිව නවීකරණය කිරීම අරභයා මෙම සුවිශේෂි පද්ධතිය නිමවා ඇත.  මෙවැනි පහසුකම් සහිතව ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ප්‍රථම AI තාක්ෂණික පද්ධතිය මෙය වීම සුවිශේෂී කරුණක් ලෙස සඳහන් කළ හැකිය. මෙම සුවිශේෂී තාක්ෂණ මෙවලම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය සියලු කරුණු මේ වන විට සපුරා නිම කොට ඇත.

බැංකු, රක්ෂණ, රාජ්‍ය අංශය, විදුලි සංදේශ සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල මූලික මෙහෙයුම් සඳහා තවමත් පැරණි මෘදුකාංග පද්ධති භාවිත වන අතර මෙම පද්ධති නවීකරණය කිරීම සංකීර්ණ, අධික පිරිවැයක් දැරීමට සිදුවන සහ ඉහළ අවදානමක් සහිත කාර්යයක් වේ. බොහෝ විට මෙහි දී මෙහෙයුම් බිඳවැටීම් සහ සැලසුම් කළ කාලයට වඩා ප්‍රමාද වීම ද සිදු වේ. EWIS AEGIS මඟින් මෙම අභියෝගයන් AI තාක්‍ෂණය භාවිත කර පැරණි මෘදුකාංග  පද්ධතිය නවීකරණය කර ක්‍රියාත්මක කිරීමට පෙර එය විශ්ලේෂණය කිරීමටත්, අත්හදා බැලීමට සහ තහවුරු කිරීමටත් අවස්ථාව ලබා දෙනු ලබයි. “අපි නවීකරණයට පෙර අත්හදා බලන්නෙමු. ” යන්න මෙහි මූලික පදනම වන්නේ එබැවිනි. පැරණි මෘදුකාංග පද්ධති නවීකරණය කිරීමේ දී මෙවැනි අත්හදා බැලීම් ප්‍රමුඛ කරගත් ක්‍රමවේදයක් භාවිතා වීම මෙම  මෘදුකාංගයට ආවේණික ලක්ෂණයකී.

EWIS AEGIS හි සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇත. පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පෙර එය අත්හදා බැලීමේ හැකියාව ලබා දෙන බැවින් නවීකරණ ක්‍රියාවලියේ දී ඇති විය හැකි අවදානම් සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට මෙහිදී හැකියාව තිබේ. ගැටලු පූර්ව වශයෙන් හඳුනා ගැනීම මඟින් සමස්ත ක්‍රියාවලියම වේගවත් කර කාලය ඉතිරි කර දෙනු ලබයි. එමෙන්ම අත්‍යවශ්‍ය මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාකාරීත්වය අඩාල නොවන බව සහතික කරන මෙය, පද්ධති නැවත නිවැරදි කිරීමේ අවශ්‍යතාවය මඟහරවා දෝෂ ප්‍රතිශතය අවම කරන බැවින්, පිරිවැය නිවැරදිව ගණනය කිරීමට සහ මනා පාලනයකින් යුතුව නවීකරණ කටයුතු නිම කිරීමට ආයතනවලට සහාය ලබා දෙනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් EWIS සමූහ ව්‍යාපාරයේ සභාපති සංජීව වික්‍රමනායක මහතා  පැරණි මෘදුකාංග පද්ධති නවීකරණය කිරීම සාම්ප්‍රදායිකව ඉහළ අවදානම් සහිත ක්‍රියාවලියක්. EWIS AEGIS හරහා ආයතනවලට එම අවිනිශ්චිතතාවයෙන් මිදී, ප්‍රතිඵල පූර්ව වශයෙන් තේරුම් ගනිමින් විශ්වාසයෙන් යුතුව නවීකරණ කටයුතු සිදු කළ හැකි ලෙස නිමකොට තිබීම අප ලද සුවිශාල ජයග්‍රාහණයක් සහ තාක්ෂණික ලෝකයේ විප්ලවීය සොයා ගැනීමක් ලෙස නිර්වචනය කළ හැකිය.

EWIS AEGIS ක්‍රියා කරනු ලබන්නේ AI තාක්ෂණය හරහා පැරණි කේත විශ්ලේෂණය කිරීම, පද්ධති අතර ඇති සම්බන්ධතාව හා සැඟවුණු අවදානම් හඳුනා ගැනීම සහ Digital Twin අත්හදා බැලීමේ තාක්ෂණය හරහා පද්ධතියේ අනුරුවක් නිර්මාණය කර එය පරීක්ෂා කිරීම මඟිනි. මීට අමතරව, නවීන තාක්ෂණික ව්‍යුහයන් වෙත බාධාවකින් තොරව මාරුවීමටත් , ස්වයංක්‍රීය නවීකරණ පහසුකම් සහ දත්තවල නිවැරදිභාවය තහවුරු කිරීමට AI මඟින් ක්‍රියාත්මක වන පරීක්ෂණ පද්ධතියක් මෙයට ඇතුළත් වේ.

EWIS සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ඉසුරු දිසානායක මහතා පවසා සිටියේ “AI සහ Digital Twin තාක්ෂණ‍යේ එකතුවීම මඟින් EWIS AEGIS නවීකරණය සඳහා විශ්වසනීය මාවතක් පෙන්වනවා. ඒ වගේම පද්ධතියේ හැසිරීම කල්තියා තහවුරු කර ගැනීම නිසා මහා පරිමාණ නවීකරණවල දී ඇතිවන අවදානම් විශාල වශයෙන් අවම වෙනවා.” යනුවෙනි.

EWIS විසින් නිපදවන ලද EWIS AEGIS, ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර තිබේ. ඒ අනුව ලොව පුරා විහිදී ඇති ආයතනවලට පැරණි යටිතල පහසුකම්වල සිට නවීන ඩිජිටල් පද්ධති වෙත මාරු වීමට මෙය මහඟු පිටිවහලක් වනු ඇති අතර මෙය තොරතුරු තාක්ෂණයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු නොඅනුමානය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *