ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ මෙහෙයුම වේගවත් කෙරේ
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් 2026 පෙබරවාරි මස අවසන් සතිය තුළ මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම උදෙසා සුවිශේෂී පියවර රැසක් ගනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් විදේශීය වෘත්තිකයන් සඳහා වන ප්‍රථම ‘ඩිජිටල් නෝම්ඩ්’ (Digital Nomad) වීසා බලපත්‍රය නිකුත් කිරීම පසුගිය දා (26) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නිල වශයෙන් ආරම්භ විය. මසකට අමෙරිකානු ඩොලර් 2,000 කට වඩා වැඩි ආදායමක් ලබන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ නිදහස් මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන යටතේ, ඔවුන්ට වසරක වලංගු කාලයක් සහිත නැවත අලුත් කළ හැකි වීසා බලපත්‍රයක් හිමිවන අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද මෙරට රැඳී සිටීමට පහසුකම් සැලසේ.
මීට අමතරව මෙරට ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී කෘතිම බුද්ධි (AI) කලාපයක් ස්ථාපනය කිරීම, දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සහ ඉන්දියාවේ ‘PM Gati Shakti’ වැඩසටහන ආදර්ශයට ගනිමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) දියුණු කිරීම පිළිබඳව අවධානය යොමු විය. මෙම හමුවේ සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ ඉන්දියාවේ IIT Madras වැනි ආයතන අතර පර්යේෂණ හා සංවර්ධන (R&D) හවුල්කාරිත්වයන් ඇති කිරීමට තීරණය කෙරිණි.
එමෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරේ ප්‍රගතිය සහ 2026 සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සතියේ ගරු, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ පසුගිය වසර තුළ ‘GovPay’ පද්ධතිය, අධිවේගී මාර්ග සහ බස් රථ සඳහා කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය සහ Starlink චන්ද්‍රිකා ව්‍යාපෘතිය හඳුන්වා දීම වැනි ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇති බවයි. එසේම, විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා ‘e-BMD’ ව්‍යාපෘතිය හරහා සහතික පත්‍ර මාර්ගගතව ලබාදීම සහ අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමේ ‘E-Court’ ව්‍යාපෘතියේ පළමු පියවර අවසන් කිරීම ද කැපී පෙනේ.
අනාගත දැක්ම පිළිබඳ කරුණු දක්වමින්, 2026 වසරේදී සෑම පුරවැසියෙකුටම අනන්‍ය වූ ඩිජිටල් හැඳුනුම්පත සහ සියලු රාජ්‍ය සේවාවන් එක් තැනකින් ලබාගත හැකි ‘Super App’ වැනි දැවැන්ත ව්‍යාපෘති දියත් කිරීමට නියමිත බව අනාවරණය විය. මීට අමතරව, ‘FarmerNet.LK’ වැනි පද්ධති හරහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය තාක්ෂණය සමඟ බද්ධ කිරීමටත්, දිවයින පුරා AI ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවා අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමටත් රජය සැලසුම් කර ඇත. මෙම සියලු පියවරයන් හරහා ශ්‍රී ලංකාව කලාපයේ තරඟකාරී ඩිජිටල් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
උපුටා ගැනීම : අද දෙරණ