ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

0
WhatsApp-Image-2026-02-17-at-09.09.34-e1771299865476

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම (AML/CFT) පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ (NCC) 2026 වසර සඳහා වන පළමු රැස්වීම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජාතික සම්බන්ධීකරණ කමිටුව යනු ශ්‍රී ලංකාවේ AML/ CFT රාමුව තුළ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් විසි දෙනෙකුට වැඩි පිරිසකගෙන් සමන්විත උපදේශක මණ්ඩලයයි.

ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකාවට ඉදිරියේදී පැවැත්වීමට නියමිත 3 වැනි අන්‍යෝන්‍ය ඇගයීමේ (Mutual Evaluation) ඇති ජාතික වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කරමින් සැසිය ආරම්භ කළේය. 3 වැනි අන්‍යෝන්‍ය ඇගයීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සලකන ලෙස ඉල්ලා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී සියලුම පාර්ශ්වකරුවන් වෙත නිකුත් කරන ලද උපදෙස් උපුටා දක්වමින්, මේ සඳහා කැපවීමේ අවශ්‍යතාවය ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ජාතික සම්බන්ධීකරණ කමිටුව යටතේ පිහිටුවන ලද අතථ්‍ය වත්කම් සේවා සපයන්නන්ගේ (VASP s) අනුකමිටුවේ සභාපති සහ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් VASPs නියාමනය සඳහා වන යෝජිත සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කරන ලදී. අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා ශක්තිමත් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම, අන්‍යෝන්‍ය ඇගයීමට පෙර ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු අනිවාර්ය FATF නිර්දේශයක් බව ඔහු පැහැදිලි කළේය.

එහිදී යෝජිත රෙගුලාසි මගින් සියලුම අතථ්‍ය වත්කම් ක්‍රියාකරුවන් සඳහා ලියාපදිංචිය, ඩිජිටල් KYC (හඳුනා ගැනීමේ ක්‍රියාවලිය) සහ අධීක්ෂණ ප්‍රොටෝ කෝල කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා අදියර වශයෙන් ක්‍රියාත්මක වන නියාමන රාමුවක් සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද කාලරාමුව පිළිබඳව ද ජාතික සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරන ලදී.

මීට අමතරව, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා ආචාර්ය (පරිපාලන) සුභානි කීර්තිරත්න මහත්මිය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්‍යෝන්‍ය ඇගයීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදු කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *