කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීමට කොමර්ෂල් බැංකුව ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය සමඟ එක්වෙයි

0
Liya-Shakthi-partnership-1-e1766040785849

ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර වලට සහය වීම සඳහා දියත් කර ඇති නවතම හදුන්වා දීම වන ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමයේ සහභාගීත්ව කොටස් හිමි ආයතනයක් (PSI) ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නගමින් කොමර්ෂල් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය ප්‍රවේශය ඉදිරියට ගෙන යමින් බැංකුවේ දිගුකාලීන කැපවීම යළිත් තහවුරු කර තිබේ.

මෙම යෝජනා ක්‍රමයේ මෙහෙයුම් දියත් කිරීම, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී පළමු ණය ලියාපදිංචිය භාර දීමෙන් සනිටුහන් කරන ලදී.

මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිණී – පුද්ගලික බැංකුකරණය මිතිලා ෂාමිනි මහත්මිය, සංවර්ධන ණය අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මාලික ද සිල්වා මහතා, සහ එම අංශයේ විධායක නිළධාරි චතුර ඩිල්ෂාන් මහතා යන අය සහභාගී වූහ. ජාතික ණය ඇපකර ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිළධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා සහ ඇපකර පරිපාලන අංශයේ කළමනාකරු එරන්ජන චන්ද්‍රදාස මහතා සහභාගී විය.

‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය ශක්‍ය වූ ව්‍යාපාර ආකෘති සහ හොඳ ආපසු ගෙවීමේ හැකියාවක් ඇති නමුත් සාම්ප්‍රදායික බැංකු ණය ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් ඇපකරයක් නොමැති, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) වලට මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වැඩි අවස්ථාවක් සලසා දීම වෙනුවෙන් NCGIL විසින් හඳුන්වා දෙන ලද ණය ඇපකර ක්‍රමවේදයකි. NCGIL හි ණය ඇපකර යාන්ත්‍රණය හරහා කොමර්ෂල් බැංකුවට කාන්තා ව්‍යවසායකයින් බොහෝ පිරිසකට ණය ලබා දීමට හැකි වන අතර එමගින් සියලු දෙනාම අන්තර්ගත වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ බැංකුවේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යනු ඇත.

මෙම සහයෝගීතාවය හරහා කාන්තා මූලිකත්වයෙන් යුත් ව්‍යාපාර වලට ම විශේෂිත වූ ණය ඇපකරවල සහය ඇතිව, තරඟකාරී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව ලබා දෙන අතර, එමගින් එම ව්‍යාපාර ව්‍යාප්ත වීමට ඇති විශාලත ම බාධකය ඉවත් කරයි. ඉලක්කගත මූල්‍ය විසඳුම්, පුහුණුව සහ උපදේශන සහය තුළින් කාන්තා ව්‍යාවසායකයින් ශක්තිමත් කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දරණ අඛණ්ඩ උත්සාහයන්ට මෙම මුලපිරීම තවත් අගය එකතු කරයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිණී – පුද්ගලික බැංකුකරණය මිතිලා ෂාමිනි මහත්මිය සහ ජාතික ණය ඇපකර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා, සංවිධාන දෙකෙහි නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගනිමින්.

උපුටා ගැනීම: අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *