27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල හෙට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන 27 වැනි ජනාධිපති අපනයන සම්මාන (PEA) උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනමනු ලැබේ. අපනයන ආදායම, වෙළඳපල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, පාරිසරික තිරසාරභාවය සහ අගය එකතු කිරීම වැනි නිර්ණායක මත පදනම්ව සම්මානලාභීන් තෝරා ගෙන ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබූ අතර Ernst & Young ආයතනය මෙම සම්මාන උළෙල සඳහා දැනුම් සහකරු ලෙස කටයුතු කරයි.
මහජන බැංකුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස අත්වැල් බැඳගෙන ඇති අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC) රිදී අනුග්‍රාහකයින් ලෙස කටයුතු කරයි. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ අපනයනකරුවන් ඇතුළු ආරාධිතයින් 1,500ක් පමණ 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලට සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
උපුටා ගැනීම : දිනමිණ