යුනිලිවර්  Ceytea ආගරපතන කර්මාන්තශාලාව ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි.

0

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Ceytea ආගරපතන කර්මාන්තශාලාව, පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022  උළෙලේදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන ලද අනගි මෙහෙවරට කරනු ලබන අගය කිරීමක් වශයෙන් ඔවුන්ට මෙම සම්මානය පිරිනමනු ලැබීය.

මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම ජනාධිපති පරිසර සම්මාන උළෙලෙහිදී පාරිසරික සංරක්ෂණය සහ ආරක්ෂාව වෙනුවෙන්  විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් සහ ආයතන සඳහා සම්මාන පිරිනැමීම සිදුවිය. ජනාධිපති පරිසර සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණය සහ ආරක්ෂාව පිළිබඳව ක්‍රියාත්මක වනු ලබන ගෞරවනීයතම සම්මාන උළෙල ලෙස හැඳින්විය හැකිය. 2021-2022 වසර සඳහා වූ මෙම සම්මාන ප්‍රදානෝත්සවය අප්‍රේල් මස 28 වන දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් BMICH හිදී පැවැත්විය.

Ceytea කර්මාන්තශාලාව සිය දෛනික සැපයුම් දාම මෙහෙයුම් ක්‍රියාවලිය උදෙසා වඩාත් තිරිසාර හා ආරක්ෂණ පිළිවෙත් යොදාගැනීම හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් වීශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. එසේම පසුගිය දශකය තුළ බලශක්ති පරිභෝජනය 34% සහ ජල පරිභෝජනය 71% කින් අවම කරගැනීමට කර්මාන්තශාලාව සමත් වී තිබේ.  කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 89% කින් අවම කරගැනීම ද මෙහිදී වැදගත් සාධකයක් ලෙස සැළකිය හැකිය. 2014 වසරේ සිට Ceytea කර්මාන්තශාලාව මඟින් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලබන අතර එමඟින් නිෂ්පාදන ක්‍රියාවලියේදී ජනනය වනු ලබන අපද්‍රව්‍ය 70% ක පමණ ප්‍රමාණයක් නැවත ප්‍රතිචක්‍රිකරණය කොට ජෛව ස්කන්ධ බොයිලේරු සඳහා අවශ්‍ය ඉන්ධන ලෙස හා ඉතිරි 30% ජෛව පොහොර වශයෙන් භාවිතා කිරීමට ද කටයුතු කර තිබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව යුනිලිවර් Ceytea කර්මාන්තශාලා කළමනාකාරිනී අනූෂා කොතලාවල මහත්මිය මෙසේ සිය අදහස් දක්වන ලදී. “මෙරට පාරිසරික තිරසාරභාවයේ ප්‍රධාන සමාජිකයෙකු වීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම පාරිසරික ආරක්ෂණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ කණ්ඩායම නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම අපගේ අපද්‍රව්‍ය වලින් 70% ක් පමණ කර්මාන්තශාලාවට අවශ්‍ය වාෂ්ප ශක්තිය නිපදවීම වෙනුවෙන් ජෛව ස්කන්ධ බොයිලේරු වෙතටත්, ඉතිරි 30% අපේ රටේ තේ වතු වලට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය වෙනුවෙන් යොදාගන්නවා.”

“යුනිලිවර් ශ්‍රී ලංකා අපගේ මුලික අරමුණ සැපයුම් දාම ක්‍රියාවලිය තුළ පාරිසරික තිරසාරභාවය උපරිම වශයෙන් ආරක්ෂා කරගැනීමයි. ඒ වෙනුවෙන් අපි නිරතුරුවම නව්‍ය ක්‍රියාකාරකම් අත්හදාබැලීමට කටයුතු කරනු ලබනවා. මෙම ජයග්‍රහණය අපට මහත් අභිමානයක් මෙන්ම තවත්  මෙබඳු පරිසර හිතකාමී ක්‍රියාකාරකම් දියත්කිරීමේ උත්ප්‍රේරණයක් ලෙසත් සලකන්න පුළුවන්. පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් මෙම ජයග්‍රහණය ලැබු Ceytea කර්මාන්තශාලා කළමනාකාරිනී අනූෂා කොතලාවල මහත්මිය ඇතුළු කණ්ඩායමට මගේ හෘදයාංගම සුබ පැතුම් එකතුකරනවා.” යුනිලිවර් සැපයුම් දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න මහතා ද  මෙසේ සිය අදහස් දැක්වීය.

මෙම අවස්ථාව පිළිබඳව  නිවේදනයක් නිකුත් කරමින් යුනිලිවර් ශ්‍රී ලංකා හි  සභාපතිනී හා කළමනාකාර  අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙරට පරිසරය වෙනුවෙන් දක්වන කාර්යක්ෂම දායකත්වය ජනාධිපතිතුමාගේ අගැයීමට ලක්වීම පිලිබදව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා විවිධ පාරිසරික සංරක්ෂණ කටයුතු සිදුකරන අතරතුර ආයතනික වශයෙන් සිදුකරන මෙම ඇගයීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරියට බෙහෙවින් ස්තුතිවන්ත වනු ලබනවා.”

Pepsi-Lipton JV විසින් නිෂ්පාදනය කරනු ලබන අයිස් ටී සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍යක් වන Black Instant Tea Powder, Ceytea කර්මාන්තශාලාව විසින් නිෂ්පාදනය කරනු ලබයි. Lipton සහ Brisk වැනි ලෝක ප්‍රකට වෙළඳනාම යටතේ ගෝලීය අයිස් ටී වෙළෙඳපලෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් Pepsi-Lipton සන්නාම සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්තයේදී ප්‍රතිසැකසුම් තේ මිලදී ගෙන නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඒවා Black Instant Tea Powder බවට පරිවර්තනය කිරීමද Ceytea කර්මාන්තශාලාව විසින් සිදු කරන අතර එමඟින් ප්‍රතිසැකසුම් තේ වෙනුවෙන් වටිනාකමක් නිර්මාණය කරයි. ගෝලීය වශයෙන් වටිනාකමින් යුත් Ceylon Tea සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන ගමනේ පුරෝගාමී මෙහෙවරක Ceytea කර්මාන්තශාලාව නිරතවන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක් ඉක්මවන විදේශීය විනිමයක් මෙරටට රැගෙන ඒමට ද කටයුතු කරයි.

ඡායාරූප සිරස්තල

යුනිලිවර් ශ්‍රී ලංකා හි Ceytea කර්මාන්තශාලාවේ කළමනාකාරීනි අනූෂා කොතලාවල මහත්මිය, අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආහාර හා පාන කර්මාන්ත කාණ්ඩයේ රන් සම්මානය ලබාගැනීම. පිලිවෙළින් ගරු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී. හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ද ඡායාරූපයේ පෙනී සිටියි.

Ceytea කණ්ඩායමේ සාමාජිකයින්

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *